
පවතින වැසි තත්ත්වයත් සමග නැවත ඩෙංගු රෝගය ඉහළ යා හැකි බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ වෛද්ය චමිල් විජේසිංහ මහතා අද (26) පැවැති මාධ්ය හමුවකදී අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් ඩෙංගු රෝගය නැවත උත්සන්න වීම වැළැක්වීම සඳහා අවධානය යොමු කරමින් කටයුතු කළ යුතු බවය.
මෙම මාසය ආරම්භය සිටම කඩින් කඩ වර්ෂාපතන තත්ත්වයන් ඇතිවූ බවත් ඒ අනුව ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් ඇතිවිය හැකි බව පෙන්වා දුන් ඒ වෛද්යවරයා කීට විද්යාත්මක තොරතුරු හරහා මේ බව තහවුරු වී ඇතැයිද පෙන්වා දුන්නේය.
ඒ අනුව මේ සම්බන්ධව අවධානය යොමු කරමින් පරිශ්ර පිරිසිදු කරමින් කටයුතු කළ යුතු බවද පැවසූ වෛද්යවරයා ඩෙංගු රෝගය දීර්ඝ කාලීනව තුරන් කිරීම සඳහා මෙම පියවරයන් වැදගත් වන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්ය චමිල් විජේසිංහ මහතා,
"විශේෂයෙන් මේ මාසයේ ආරම්භයේ සිටම මේ වර්ෂාපතනයේ ඉහළ යෑමක් අපි දැක්කා කඩින් කඩ පවතින වර්ෂාව. ඒ නිසා යම් ආකාරයකට අපි නිරීක්ෂණය කරමින් සිටි කාරණයක් තමයි ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් ඇතිවීමේ තත්ත්වයක් තිබෙනවායි කියන කාරණය. මොකද කීට විද්යාත්මක තොරතුරු හරහා අපිට පැහැදිලි වෙලා තිබුණා මදුරු ඝනත්වය සහ මදුරු කීට ඝනත්වය ඉහළ යමින් තිබෙන බව. ඒ තුළ පෙනන සංඥාව තමයි ඉදිරියේදී නැවත ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් අපිට දකින්නට ලැබෙයි කියන කාරණය.
අනිත් කාරණය තමයි අවුරුද්දේ ඔක්තෝබර් - නොවැම්බර් කියන කාලයේදී ඊසාන දිග මෝසම ආරම්භ වෙන්නේ. ඉතිං ඊසාන දිග මෝසම බලපාන්නේ රටේ නැගෙනහිර කලාපයට ඉතිං නැගෙනහිර පළාත, උතුරු පළාත, උතුරුමැද පළාත වගේ ප්රදේශවල ඩෙංගු රෝගීන්ගේ සීඝ්ර වැඩිවීමක් අපි පුරෝකථනය කරන සමයක්. මේ පවතින කාලගුණයත් එක්ක මීට වඩා වැඩි ඩෙංගු රෝගීන් වැඩිවීමේ හැකියාවක් තියෙනවා. අපි නිතරම කියන දෙයක් තමයි ඩෙංගු රෝගීන් වැඩිවුණාම ඒ රෝගීන් ගාණ ගණන් කරන එකවත්, ඒ රෝගීන්ගේ මරණ සංඛ්යාව ගණන් කරන එකවත් නෙමෙයි දවසක් දෙකක්වත් කාර්යාලය, තමන්ගේ නිවස සුද්ධ පවිත්ර කරගන්න එක කරන්න ඕනේ. දීර්ඝ කාලීනව ඩෙංගු රෝගය තුරන් කිරීම අපි කරන්න ඕනේ."



















































