
ශ්රී ලංකාව ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට, එනම් බටහිර දෙසට ගමන් කරමින් පවතින අතර නව අඩු පීඩන කලාපයක් උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක ප්රදේශයේ නිර්මාණය වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
එම පද්ධතිය එම ප්රදේශය ආශ්රිතවම පවතිමින් හෙට (24) වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.
ඉන් අනතුරුව, එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී ලබන 25 වැනිදා වනවිට ගැඹුරු පීඩන අවපාතයක් බවටත්, ඔක්තෝබර් මස 26 වැනිදා උදෑසන වන විට බෙංගාල බොක්කේ බටහිර මධ්යම ප්රදේශය ආශ්රිතව සුළි කුණාටුවක් බවටත් පත්වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බවද සඳහන්.
මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්රී ලංකාවට නොමැතිවුව ද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේ දී අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.


















































