
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව ප්රදානය කරන ලෙස බල කරමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් විහාර මහා දේවී උද්යානයේ බුදු පිළිමය අසල අඛණ්ඩව රැඳීසිටීම වළක්වාලමින් ඊයේ (22) දින නිකුත් කළ නියෝගය වෙනස් නොකරන බව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද (23) ප්රකාශ කළේය.
භික්ෂූන් වහන්සේලා පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේ.
ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සඳහන් කළේ, විහාර මහා දේවී උද්යානයේ බුදු පිළිමය අසල භික්ෂූන් වහන්සේලාට රැඳී සිටීම වළක්වාලමින් දැනට නිකුත් කර තිබෙන නියෝගය වෙනස් කර උන්වහන්සේලාට එහි රැඳී සිටීමට හැකිවන පරිදි අවසරයක් ලබා දෙන ලෙසය.
කෙසේවෙතත් එම නියෝගය වෙනස් නොකළ ප්රධාන මහේස්ත්රාත්වරයා මෙම අධිකරණ නියෝගය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීමද ඉවත ඉවත දැමුවේය.
මහේස්ත්රාත්වරයා සඳහන් කළේ, එවැනි වරෙන්තුවක් නිකුත් කිරීමට තරම් කරුණු මේ අවස්ථාවේදී අනාවරණ නොවන බවත් පොලිසියට අවශ්ය නම් අපරාධ නඩු විධාන සංග්රහයේ ප්රතිපාදන ප්රකාරව කටයුතු කිරීමට හැකියාව තිබෙන බවය.


















































