
මොරටුව, සොයිසාපුර ප්රදේශයේ ආපනශාලා හිමිකරුවෙකුට වෙඩි තබා ඝාතනය කර පලාගිය වෙඩික්කරුවන් පැහැරගත් යතුරුපැදිය පිළියන්දල, සිද්ධමුල්ල ප්රදේශයෙන් සොයාගෙන තිබේ.
ඊයේ (20) රාත්රී 8.30ට පමණ සොයිසාපුර ප්රදේශයේ ආපනශාලාවක් තුළ සිදුවූ වෙඩි තැබීමෙන් එහි හිමිකරු ජීවිතක්ෂයට පත්වූ අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පාරිභෝගික කාන්තාවක් ද රෝහල්ගත කර තිබුණි.
මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු T-56 වර්ගයේ ගිනි අවියකින් ආපනශාලා හිමිකරු ඉලක්ක කර වෙඩිතබා පලාගොස් ඇති බව පොලීසිය පැවසීය.
පසුව ඔවුන් ගමන්ගත් මෝටර් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් පිළියන්දල, සුවාරපොළ ප්රදේශයේදී එයින් බැස අහසට වෙඩි තබා යතුරුපැදිකරුවෙකු බිය ගන්වා ඔහු සතු යතුරුපැදිය පැහැරගෙන පලාගොස් තිබේ.
එලෙස පැහැරගත් යතුරුපැදිය සිද්ධමුල්ල ප්රදේශයේ අත්හැර දමා ගොස් තිබියදී පොලීසිය විසින් මෙලෙස සොයාගෙන ඇත.
වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයේ අංක තහඩුව ද වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ වැටී තිබූ බව පොලීසිය සඳහන් කළේය.



















































