
විදේශ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ අඹුසැමි යුවළක් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ ප්රදේශයේදීය.
සැකකාර යුවළ දළුගම, කිරිබත්ගොඩ ප්රදේශයේ ලිපිනයක සිය ආයතනය පවත්වාගෙන ගොස් ඇති අතර ආයතනයේ බලපත්රය පසුගිය වසරේ සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වී තිබේ.
නමුත් ඔවුන් සිය ආයතනයේ නම භාවිත කරමින්ම වැලිමඩ නුගතලාව ප්රදේශයේදී ආයතනය නැවතත් ආරම්භ කරමින් මෙම වංචාව සිදුකර ඇති බව කාර්යාංශය සඳහන් කළේය.
එහිදී ඔවුන් සර්බියාව, එක්සත් අරාබි එමීර් රාජ්යය, කොරියාව සහ රුමේනියාව යන රටවල රැකියා ලබා දෙන බව පවසා රැකියා ඇනවුම් පවා නොමැතිව මහජනතාවගෙන් මුදල් අය කරමින් මෙම ජාවාරම සිදුකර තිබේ.
පසුගිය වසරේ සිට මෙම වසරේ සැප්තැම්බර් 09 වැනි දින දක්වා කාලය තුළ පමණක් මෙම යුවළට එරෙහිව පැමිණිලි 12ක් වාර්තා වී ඇති බවත් ඉන් වංචා කර ඇති මුළු මුදල රුපියල් අසූ දෙලක්ෂ හතලිස් දහසක් බවටද මේ වන විට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය විසින් අනාවරණය කරගෙන තිබේ.
අත්අඩංගුවට ගත් යුවළ වැලිමඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේන් අනතුරුව එළැඹෙන 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද අධිකරණය නියෝග කර ඇත.
එමෙන්ම මෙහි ස්වාමිපුරුෂයා කඩවත ප්රදේශයේ පදිංචි අයෙකු බැවින් ඉදිරි නීතිමය කටයුතු සඳහා එළැඹෙන 26 වැනි දින මහර මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.



















































