
ශ්රේෂ්ඨාධිකරණය විසින් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දුන් තීන්දුවට එරෙහිව රජයට කටයුතු කළ නොහැකි බව අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (20) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී නැගුණු ප්රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්යවරයා මේ බව පැවසීය.
සිරගතව සිටින ඥානසාර හිමියන්ට පොදු සමාවක් ලබා දීමට රජය නොහැකි ඇයිද යන්න සම්බන්ධව මෙම සාකච්ඡාවේදී අමාත්යවරයාගෙන් විමසීමක් සිදුකරනු ලැබීය.
ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්යවරයා පැවසුවේ වර්තමාන රජය බලයට පත්වන්නේම නීතියේ විධානය සහ ආධිපත්ය නිවැරදිව ක්රියාත්මක කිරීම සඳහා බැවින් ශ්රේෂ්ඨාධිකරණ නියෝගයකට අවනත නොවී හැසිරීමට රජයට නොහැකි බවය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා,
"එළියේ ඉන්න හාමුදුරුනමක් ආණ්ඩුවෙන් ගිහිල්ලා කොහේ හරි බන්ධනාගාරගත කරලා නෙමෙයි. මේක අධිකරණයෙන් ලබා දුන් තීන්දුවක්... වරදක් කරලා ශ්රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙලා ඒකට ශ්රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දුන්නාට පස්සේ දි හැමතැනකම කණ්ඩායම් එකතුවෙලා ඉල්ලන්න පටන් ගත්තොත් එහෙම ශ්රේෂ්ඨාධිකරණ නියෝගයකට අවනත නොවී හැසිරෙන්න කියලා රජයකට එහෙම කරන්න බෑ. මේ රජය බලයට පත්වෙන්නෙම නීතියේ විධානය සහ ආධිපත්ය නිවැරදිව ක්රියාත්මක කරන්න කියලා. තරාතිරම හරි, නිලය හරි, බලය හරි ඉදිරියේදී නීති නමන්නේ නැතිව සැමට නීතිය සාධාරණය ක්රියාත්මක කරන්න කියන එක තමයි රජයෙන් බලාපොරොත්තු වෙන්නේ රජයට ඡන්දය නොදීපු ජනතාව පවා. ඉතිං ඒ අනුව තිබෙන නීති ප්රකාරව ශ්රේෂ්ඨාධිකරණ නියෝග අනුව කටයුතු කරනවා."



















































