
ඉරානයේ සහාය ලබමින් යේමනයේ ක්රියාත්මක වන හූති කැරලිකරුවන් දියුණු මධ්ය පරාස බැලැස්ටික් මිසයිල පද්ධතියක් නිෂ්පාදනය කිරීමට උත්සාහ කරමින් සිටින බව විදෙස් මාධ්ය පවසයි.
යුද ගැටුම් කලාපවල ආයුධ භාවිතය පිළිබඳ පරීක්ෂණ පවත්වන ආයතනයක් විසින් නිකුත් කරන ලද අලුත්ම වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්ය මේ බව සඳහන් කර ඇත. එහි දැක්වෙන්නේ චීන යුද උපකරණවල සහාය ඇතිව නිෂ්පාදන සිදුකිරීමට උත්සාහ ගනිමින් ඇති බවය.
එක්සත් රාජධානිය පදනම් කරගත් Conflict Armament Research ආයතනය විසින් මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ, සෞදි අරාබිය සමඟ පවතින දීර්ඝකාලීන යුද්ධයේදී මැදපෙරදිග හොඳින්ම සන්නද්ධ වූ හමුදාවකට පවා දැඩි තර්ජනයක් එල්ල කිරීමට හූති කැරලිකරුවන් දක්වන සුවිශේෂී හැකියාව පෙන්නුම් කරමින් සිටින වටපිටාවකය.
ඉදිකෙරෙමින් පවතින මෙම නව ආයුධ පද්ධතිය මගින් සෞදි අරාබියට සහ ඊශ්රායලයට වඩාත් ඉලක්කගත ලෙස ප්රහාර එල්ල කිරීමට හූති සටන්කාමීන්ට හැකියාව ලැබෙනු ඇති බවට පැවසෙයි.
මෙම වාර්තාවට අනුව, ඉරානයේ 'Kheibar Shekan' නමැති නිරවද්ය ඉලක්කගත මිසයිලයේ නව සංස්කරණයක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්ය ප්රධාන කොටස් චීන සැපයුම්කරුවන්ගෙන් ලබා ගැනීමට හූති කැරලිකරුවන් උත්සාහ කර ඇත.



















































