
ඉන්දුනීසියාවේ ව්යාප්ත වෙමින් පවතින දරුණු ලැව්ගිනි හේතුවෙන් හටගත් ඝන දුමාරය අසල්වැසි රටවලට ද තදින් බලපා ඇති අතර, ඒ හේතුවෙන් සිංගප්පූරුවේ වායු දූෂණය මේ වසරේ ඉහළම අගය වාර්තා කර තිබේ.
මීට අමතරව, නැගෙනහිර ටිමෝරය ද සිය පාසල් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.
එල් නිනෝ කාලගුණික තත්ත්වයන්ගේ බලපෑම නිසා ඉන්දුනීසියාව පසුගිය වසර 11 තුළ මුහුණ දුන් දරුණුතම ලැව්ගිනි සමයට මේ දිනවල මුහුණ දෙමින් සිටී.
මෙම තත්ත්වය හේතුවෙන් එරට තුළ ශ්වසන රෝග වැඩි වීමක් දක්නට ලැබෙන අතර, මැලේසියාව ඇතුළු කලාපයේ සෙසු රටවල ද වායු ගුණාත්මකභාවය නරක අතට හැරී ඇත.
ගිනි නිවන හමුදා සාමාජිකයන් 69,000 කට අධික පිරිසක් යොදවා ගිනි පාලනය කිරීමට ජකාර්තා බලධාරීන් කටයුතු කළද, පීට් බිම්වල (වසර දහස් ගණනක් පුරා අර්ධ වශයෙන් දිරාපත් වූ ශාක ද්රව්ය විශේෂයෙන් පාසි, පඳුරු සහ අනෙකුත් තෙත්බිම් ශාක එකතු වීමෙන් සෑදුණු සුවිශේෂී තෙත්බිම් වර්ගයක්) හටගන්නා ගින්දර පාලනය කිරීම අභියෝගයක් වී තිබේ.
කලාපීය වශයෙන් පවතින මෙම දේශසීමා හරහා පැතිරෙන වායු දූෂණ ගැටලුව එළැඹෙන මස පැවැත්වෙන ආසියාන් (ASEAN) සමුළුවේදී විශේෂ අවධානයට ලක් වීමට නියමිතය.



















































