
සැකකරුවෙකුට එම අපරාධයට අදාළව අධිකරණය හමුවේ ස්වයං පාපොච්චාරණයක් කිරීමට අවශ්ය නම් ඒ බව අධිකරණයට දැනුම් දිය යුත්තේ අදාළ සැකකරු මිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොවන බව අනුරාධපුර ප්රධාන මහෙස්ත්රාත් සියපත් සසිඳු වික්රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක මනුෂ්ය ඝාතන විමර්ශන ඒකකයේ නිලධාරීන්ට දැනුම් තිබේ.
“අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසූවේ, සංවිධානාත්මක අපරාධකරුවකු වන ශ්රී ලංකා යුද හමුදාවේ විශේෂ බළකායේ හිටපු සෙබළෙකුව සිටි ඉරෝන් රණසිංහ හෙවත් එස්එෆ් ලොක්කා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මේ බව සඳහන් කළ බවය.
අනුරාධපුර ප්රධාන මහෙස්ත්රාත් සියපත් සසිඳු වික්රමරත්න වික්රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්රශ්න කර සිටියේ, යම් අපරාධයක් සම්බන්ධයෙන් සැකකරුවෙකුට අධිකරණයට පාපොච්චාරණයක් කිරීමට අවශ්ය නම් ඒ බව අධිකරණයට දැනුම් දිය යුත්තේ අදාළ සැකකරුම විසින්ම විය යුතු බවට වන නීතිමය පසුබිමක් තිබියදී, සැකකරු වෙනුවෙන් අදාළ ප්රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙන්නේ කුමන නීතිමය පදනමක් යටතේද යන්නය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්රියා කලාපය තුළින් මෙම සිද්ධිය හුදෙක් නාටකයක් බව පැහැදිලි යැයි විත්තියේ නීතිඥවරයා ප්රකාශ කළ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උත්සාහය, මෙම අපරාධයට සම්බන්ධ නොමැති අනුරාධපුර මූලස්ථාන පොලීසියේ හිටපු නිලධාරීන් කණ්ඩායමක් අනීතිකව අත්අඩංගුවට ගැනීමට බවටද චෝදනා කර තිබේ.
ප්රධාන මහෙස්ත්රාත්වරයා පැවසුවේ, අදාළ මානසික වෛද්ය වාර්තාව ලැබීමෙන් අනතුරුව සැකකරුට ස්වයං පාපොච්චාරණයක් කිරීමට අවශ්ය නම් ඊට අධිකරණය අවසර ලබා දෙන්නේද? නැද්ද? යන්න තීරණය කරන බවය.
සැකකරු එළඹෙන 26 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමටද ප්රධාන මහෙස්ත්රාත්වරයා නියෝග කර තිබේ.
මේ අතර හිටපු විශේෂ බළකා සෙබළ ඉරෝන් රණසිංහ හෙවත් එස් එෆ් ලොක්කා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැක කරන අනුරාධපුර මූලස්ථාන පොලිසියේ හිටපු උසස් පොලිස් නිලධාරියෙකුට, උප පොලිස් පරීක්ෂකවරයෙකුට, සැරයන්වරයෙකුට සහ අනුරාධපුර මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්රීවරයෙකුට විදේශ ගතවීම වළක්වමින් තහනම් නියෝගයක්ද නිකුත් කර තිබේ.
අනුරාධපුර දහයියාගම දුම්රිය හරස් මාර්ගය අසලදී ශ්රී ලංකා යුද හමුදා විශේෂ බළකායේ හිටපු සෙබළ ඉරෝන් රණසිංහ හෙවත් එස් එෆ් ලොක්කා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී 2020 වසරේ අගෝස්තු 5 දින වෙඩි තබා ඝාතනය කෙරුණි.
ගිනස් වාර්තාලාභී කරාටේ ශුරයෙකු වන වසන්ත සොයිසා ඝාතනය කිරීම ඇතුළු අපරාධ නඩු රැසක, ප්රධාන සැකකරු ලෙසද එස් එෆ් ලොක්කා නම්කර තිබුණි.



















































