
ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසීය.
චාවකච්චේරිය මාර්ගයේ කයිතඩි ප්රදේශයේදී යාපනය දෙසට ධාවනය වූ යතුරුපැදියක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබුණි.
අනතුරින් පැදිකරු හා පසුපැදිකරු බරපතළ තුවාල ලබා චාවකච්චේරිය රෝහලට ඇතුළත් කරන විටත් දෙදෙනාම මියගොස් සිට ඇත. ඇ
එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 20ක් හා 23ක් වූ චුන්නාකම් ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර චාවකච්චේරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මේ අතර, කොලොන්න, සූරියකන්ද - ඇඹිලිපිටිය මාර්ගයේ කැකුණදොල ප්රදේශයේදී ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ ලොරි රථයක වම්පස දොරටුව විවෘත වී වම්පස අසුනේ ගමන් කළ කාන්තාවක් මාර්ගයට විසි වී ගොස් අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ කාන්තාව කොලොන්න රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි.
එලෙස මියගොස් ඇත්තේ, 66 හැවිරිදි මාහේන, විජේරිය ප්රදේශයේ පදිංචිකාරියකි.
මේ අතර, කොළඹ - අවිස්සාවෙල්ල මාර්ගයේ කොටිකාවත්ත ප්රදේශයේදී කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවක් ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ 80 හැවිරිදි කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මේ අතර, මොරටුව - කටුබැද්ද මාර්ගයේ බණ්ඩාරනායක මාවත අසලදී කටුබැද්ද දෙස සිට පිළියන්දල දෙසට ධාවනය වූ යතුරුපැදික මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකු ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ පැදිකරු සහ පදිකයා පිලියන්දල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 76 හැවිරිදි පදිකයා මියගොස් ඇත.



















































