
බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පාද යාත්‍රාව අද (13) සිව්වැනි දිනටත් වරකාපොළ නගරයෙන් ආරම්භ කර තිබේ.
ඒ අනුව, අද දිනයේදී මෙම පාද යාත්‍රාව නිට්ටඹුව නගරය දක්වා ගමන් කිරීමට නියමිතය.
‘සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාව’ ලෙස නම් කර ඇති මෙම පාද යාත්‍රාව පසුගිය 10 වැනිදා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ කෙරිණි.
එදින පාද යාත්‍රාව කඩුගන්නාව දක්වා ගමන් කිරීමෙන් අනතුරුව පළමු දිනය නිමා කර තිබිණි.
දෙවැනි දිනය වූ පෙරේදා (11) කඩුගන්නාවෙන් ආරම්භ වූ පාද යාත්‍රාව කෑගල්ල දක්වා ගමන් කළේය.
ඊයේ (12) දිනයේදී කෑගල්ල නගරයෙන් ආරම්භ වූ පාද යාත්‍රාව වරකාපොළ නගරය දක්වා පැමිණ තිබේ.
මෙම නිදහසේ පාද යාත්‍රාව නිට්ටඹුව සහ කඩවත යන නගර පසුකරමින් ලබන 15 වැනිදා වන විට කොළඹට ළඟා වීමට නියමිත බව වාර්තා වේ.



















































