
මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් මොණරාගල, බඩල්කුඹුර තැන්නේයාය ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් විශේෂ ගුවන් සවාරියක් ඇතුළු විනෝදාත්මක වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කළ “Dreams Take Flight” වැඩසටහන යටතේ මෙම අවස්ථාව දරුවන්ට හිමිවූයේ පසුගිය ඔක්තෝබර් 09 සහ 10 යන දෙදින තුළදීය.
එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයේ ගුවන් යානයකින් කොළඹ සහ කළුතර ප්‍රදේශ ආශ්‍රිතව ගුවන් සවාරියක නිරත වීමට දරුවන්ට අවස්ථාව හිමිවිය.
මීට අමතරව දෙමහල් බස් රථයකින් කොළඹ නගරයේ සංචාරය කළ දරුවන්ට, කොළඹ වරාය නගරය සහ නෙළුම් කුළුණ ඇතුළු ප්‍රධාන සංචාරක ආකර්ෂණීය ස්ථාන නැරඹීමට ද අවස්ථාව සලසා දී තිබේ.
එමෙන්ම, Excel World විනෝද උද්‍යානයේ විනෝද වීමටත්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් යානා මෙහෙයුම් නිරීක්ෂණය කිරීමටත් දරුවන්ට අවස්ථාව හිමිවූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කරයි.
මෙම වැඩසටහන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ අනුමැතිය යටතේ සංවිධානය කර තිබේ.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.



















































