
උතුරු දුම්රිය මාර්ගයේ දෛනිකව ධාවනය වූ දුම්රිය ගමන්වාර 18ක සංඛ්‍යාව මේ වන විට 8 දක්වා අඩුවී ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කළේ, ‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වයට පෙර උතුරු මාර්ගයේ දෛනිකව ගමන්වාර 18ක් ක්‍රියාත්මක වූ නමුත්, මේ වන විට එය ගමන්වාර 8කට සීමා වී ඇති බවය.
විශේෂයෙන්ම බදාදා දිනවලදී නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය සහ රාත්‍රී තැපැල් දුම්රිය හැරුණු විට සාමාන්‍ය මගීන් සඳහා ගමන් කිරීමට වෙනත් දුම්රියක් නොමැති බවද ඒ මහතා පෙන්වා දෙයි.
එමෙන්ම, ‘යාල් දේවි’ ශීඝ්‍රගාමී දුම්රිය ද ධාවනය වන්නේ දවසක් හැර දවසක් බැවින් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුවේ සිට බදුල්ල, මාතලේ, මහනුවර සහ හැටන් දක්වා දෛනිකව ධාවනය වූ භාණ්ඩ හා මගී දුම්රිය ගමන්වාර 42න් මේ වන විට ධාවනය වන්නේ ගමන්වාර 8ක් පමණක් බවත්, ඉතිරි ගමන්වාර 34ම ක්‍රියාත්මක නොවන බවත් ඔහු පැවසීය.
පසුගිය මාසයේදී ගම්පොළ දක්වා මාර්ගයේ ගමනාගමන කටයුතු යළි ආරම්භ කිරීමත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සාමාන්‍යකරණය කරන ලෙස සංගමයක් ලෙස දිගින් දිගටම ඉල්ලා සිටියද, මෙතෙක් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද කසුන් චාමර ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා,
"දිට්වා සුළි කුණාටුව පැමිණීමට පෙර උතුරු දුම්රිය මාර්ගයේ දිනකට දෛනික ගමන්වාර 18ක් යොදවා තිබුණා. නමුත් මේ වන විට ධාවනය කරන්නේ දුම්රිය ගමන්වාර 8ක් පමණයි. විශේෂයෙන්ම බදාදා දිනවලදී උතුරු දුම්රිය මාර්ගයේ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය සහ රාත්‍රී තැපැල් දුම්රිය හැර සාමාන්‍ය මගීන් සඳහා ගමන් කිරීමට වෙනත් දුම්රියක් නෑ. ඒ වගේම තවමත් ‘යාල් දේවි’ ශීඝ්‍රගාමී දුම්රිය ධාවනය වන්නේ දවසක් හැර දවසක්. මෙයින් මගී ජනතාව විශාල ලෙස පීඩාවට පත්වෙලා සිටිනවා.
එසේම, උඩරට දුම්රිය මාර්ගයේ දෛනිකව කොළඹ කොටුවේ සිට බදුල්ල, මාතලේ, මහනුවර සහ හැටන් දක්වා භාණ්ඩ හා මගී දුම්රිය ගමන්වාර 42ක් ධාවනය වුණා. පසුගිය මාසයේදී මෙම මාර්ගයේ ගමනාගමන කටයුතු ගම්පොළ දක්වා නැවත ආරම්භ කළා. එම කටයුතු ආරම්භ කිරීමත් සමඟ දුම්රිය ධාවනය සාමාන්‍යකරණය කරන ලෙස අපි සංගමයක් විදිහට දිගින් දිගටම ඉල්ලා සිටියා. නමුත් මේ වන විට ඒ ගමන්වාර 42න් දෛනිකව ධාවනය වන්නේ ගමන්වාර 8ක් පමණයි. ඉතිරි දුම්රිය ගමන්වාර 34ම ධාවනය වන්නේ නැහැ."





















































