
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (09) රාවල්පින්ඩ් හිදී පැවැත්වේ.
රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතය.
දෙරට අතර පැවැති විස්සයි20 තරග ඉතිහාසය දෙස බැලීමේදී, 2007 වසරේ සිට මේ දක්වා තරග 30ක් පවත්වා ඇති අතර, ඉන් තරග 18ක ජය පාකිස්තානය හිමිකර ගනිද්දී, ශ්‍රී ලංකාව තරග 12ක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත.
කෙසේ වෙතත් පාකිස්තානයේ පැවැති තරග 7න් තරග 4කම ජය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීම විශේෂත්වයකි.
මෙම තරගාවලිය සඳහා පාකිස්තාන කණ්ඩායමේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති අතර, එහි ප්‍රධානතම පියවර ලෙස 30 හැවිරිදි ප්‍රහාරාත්මක පිතිකරු සහිබ්සාඩා ෆර්හාන් එරට විස්සයි20 කණ්ඩායමේ නව නායකයා ලෙස පත්කර තිබේ.
මීට පෙර කණ්ඩායම මෙහෙයවූ සල්මන් අලි අගා නායකත්වයෙන් ඉවත්කර ඇති අතර, ඔහු මෙවර තරගාවලිය සඳහා වන 15 දෙනෙකුගෙන් යුත් පාකිස්තාන සංචිතයටද ඇතුළත් කර නොමැත.
මෙම වසර මුලදී පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු 383ක් රැස්කරමින් දක්ෂතා දැක්වූ ෆර්හාන්, පසුගියදා නිමාවට පත්වූ ආසියානු ක්‍රීඩා උළෙලේදී ද පාකිස්තාන කණ්ඩායම රිදී පදක්කම කරා මෙහෙයවීමට සමත් විය.





















































