
තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරුට විදේශගත වීම සඳහා කූඨ ලේඛන සහ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීමට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2026 පෙබරවාරි 13 වන දින තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී මෙම ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදු කර තිබූ අතර, බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර තිබිණි.
ඒ අනුව, සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු මත, 2026 ඔක්තෝබර් 07 වන දින පොලිස් නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රධාන සැකකරුට විදේශගත වීම සඳහා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීම පිණිස ඇඟිලි සලකුණු තබා ඇති මෙම පුද්ගලයා, කූඨ ලේඛන සකස් කිරීමට අනුබල දීමේ වරද යටතේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 45 ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම ද්විත්ව ඝාතනයට සහ ඊට සම්බන්ධ ජාලයට එරෙහිව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් ඉදිරි විමර්ශන තවදුරටත් සිදු කරනු ලබයි.






























































