
ග්‍රාම නිලධාරීන් විසින් අතීතයේ පවත්වාගෙන ගිය ගෘහ මූලික ලැයිස්තුව ඩිජිටල් ආකාරයකින් නැවත සකස් කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඊ.එම්.ඩී.එස්. ඒකනායක මහතා ප්‍රකාශ කලේය.
පොලොන්නරුව මෛත්‍රී සෙවණ පරිශ්‍රයේදී ඊයේ (03) පැවති සමස්ත ලංකා ග්‍රාම නිලධාරී සංසදයේ සුහද හමුව අවස්ථාවේදී දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසීය.
එලෙසම ගම්පහ සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් එහි නියමු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවත් පැවසීය.
මේ සඳහා අදාල ග්‍රාම නිලධාරීන්ට TAB යන්ත්‍ර සැපයීමටද රජය සමඟ සාකච්ඡා කර ඇතැයිද ඒ මහතා පැවසීය.
ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 330කට වැඩි ප්‍රමාණයක රාජකාරී කරනු ලබන ග්‍රාම නිලධාරීන් නියෝජනය කරමින් පන්සියයකට වැඩි ග්‍රාම නිලධාරීන් පිරිසක් මෙම සුහද හමුවට සහභාගී වී තිබේ.
2014 වසරේ ෆේස් බුක් සමූහයක් ලෙස ආරම්භ කරන ලද මෙම කණ්ඩායම සඳහා තාක්ෂණය භාවිතා කරන ග්‍රාම නිලධාරීන් විශාල පිරිසක් එක් වී සිටින බව එම සමූහයේ නිර්මාතෘ අරුණ උපේන්ද්‍ර මහතා ප්‍රකාශ කලේය.
එම වසරේම දුනුමඬලාවෙන් ආරම්භ කරන ලද මෙම සමූහයේ සුහද හමුව ගාල්ල, ගම්පහ, පන්නල, යාපනය, පින්නවල, පානදුර යන ප්‍රදේශවල පවත්වා ඇති අතර, එය පොලොන්නරුවේ පවත්වනු ලබන්නේ 8වන වරට බව සඳහන් කරයි.
මෙම සමූහය මගින් ග්‍රාම නිලධාරීන් සඳහා විශේෂ කුසලතා එලිදැක්වීමට වැඩපිලිවෙලක්, ස්වයං රැකියා ප්‍රවර්ධන වැඩසටහනක්, ක්‍රීඩා කුසලතා එලිදැක්වීමේ වැඩසටහනක් මෙන්ම සුබසාධන වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරේ.





















































