
නියමිත බර නැති පාන් අලෙවි කිරීම සහ පාන්වල බර හා මිල නිසියාකාරව ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
සැප්තැම්බර් 29වන දින ක්‍රියාත්මක කළ මෙම විශේෂ මෙහෙයුමේදී වෙළෙඳසැල් සහ බේකරි 107ක් පරීක්ෂාවට ලක්කර ඇත.
එහිදී ,බර අඩු පාන් අලෙවිය සම්බන්ධයෙන් සිද්ධි 35ක්, පාන්වල බර ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන් ස්ථාන 85ක් ,පාන්වල මිල ප්‍රදර්ශනය නොකෙරූ ස්ථාන 55ක් හඳුනාගෙන තිබේ.
මේ අතර මෙම වැටලීම් මගින් බේකරි 71ක් පරීක්ෂා කර තිබේ.
බර අඩු පාන් හමු වූ අවස්ථාවලදී සිල්ලර වෙළෙඳුන්ට පමණක් නොව, එම පාන් නිෂ්පාදනය කළ බේකරිය දක්වාම විමර්ශන දීර්ඝ කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
එහිදී බේකරියේ පාන්වල බර ද පරීක්ෂා කර, වරද තහවුරු වන්නේ නම් නිෂ්පාදන ක්‍රියාවලිය වහා නිවැරදි කිරීමට උපදෙස් ලබා දී ඇති අතර ප්‍රමාණවත් සාක්ෂි ඇති විට මහෙස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවද සඳහන් වෙයි.
මීට පෙර ද සැප්තැම්බර් 01 සිට 03 දක්වා ක්‍රියාත්මක කළ වැටලීමේදී වෙළෙඳසැල් සහ බේකරි 118ක් පරීක්ෂා කර බර අඩු පාන් සිද්ධි 54ක් සොයාගෙන තිබුණි.
ඒ අනුව මෙම වැඩසටහන් දෙක යටතේ සමස්තයක් ලෙස වෙළෙඳසැල් සහ බේකරි 225ක් පරීක්ෂා කර ඇති අතර, බර අඩු පාන් සම්බන්ධ සිද්ධි 89ක් වාර්තා වී ඇත.





















































