
13 වන ලෝක ස්ට්‍රෙන්ත් ලිෆ්ටින් ශූරතාවලියේ (World Strength Lifting Championship) 'හැක් ලිෆ්ට්' (Hack Lift) ඉසව්වේ කිලෝග්‍රෑම් 95න් පහළ බර පන්තිය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් දුලිත් දසනායක නව ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කම දිනාගැනීමට සමත් විය.
සැප්තැම්බර් 07 වෙනි දින සිට 11 වෙනි දින දක්වා කිරිගිස්ථානයේ පැවැති මෙම ශූරතාවලියේදී කිලෝග්‍රෑම් 260ක බරක් සාර්ථකව ඔසවමින් ඔහු මෙම අසමසම ජයග්‍රහණය තමා සතු කරගත් අතර, එමගින් ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාවට මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ද අතිමහත් කීර්තියක් අත්කර දුන්නේය.
ඔහුගේ මෙම විශිෂ්ට ක්‍රීඩා කෞශල්‍යය හා දක්ෂතාව අගයමින්, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් ඔහුව කෝප්‍රල් නිලයේ සිට සැරයන් නිලය දක්වා විශේෂ උසස් කිරීමකට පියවර ගෙන ඇත.
මේ අතර, සැරයන් දුලිත් දසනායක ක්‍රීඩකයා වෙත විශේෂ මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමට ද ගුවන් හමුදාපතිවරයා කටයුතු කළ අතර, මෙම විශේෂ උපහාර දැක්වීමේ සහ ඇගයීමේ උත්සවය අද(01) දින ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.





















































