
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ තමන් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව, වත්මන් ලොව අංක එකේ කණ්ඩායම වන ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී වාර්තා කිරීමට බ.ඉ. කොදෙව් කණ්ඩායම අද (30) සමත් විය.
ගුවහාති හි පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් පන්දුවාර 50 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 405ක් රැස්කරමින් මෙම සුපිරි කඩඉම සම්පූර්ණ කළේය.
ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ පැරණිම කණ්ඩායමක් වන ඔවුන් ජාත්‍යන්තර
එක්දින පිටියේ ලකුණු 400 සීමාව පසුකළ පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා අතරට එක්විය.
මීට පෙර කොදෙව්වන්ගේ ඉහළම එක්දින ලකුණු සංඛ්‍යාව වූයේ 2019 වසරේ දී එංගලන්තයට එරෙහිව ලකුණු 389/10ක් රැස්කර තිබීමය.
මෙම තරගය පැවැත්වෙන ගුවහාති ක්‍රීඩාංගණයේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද මෙය වාර්තා අතරට එක්විය.
මෙහිදී කොදෙව් ඉනිමේ විශිෂ්ට ශතක 3ක් වාර්තා වූ අතර, එයද එක්දින ඉනිමකදී කොදෙව්වන් ශතක තුනක් රැස්කළ පළමු අවස්ථාව වේ.
ආරම්භ පිතිකරු ජෝන් කැම්බල් පන්දු 68කින් ලකුණු 101ක්, නායක ෂායි හෝප් පන්දු 94කින් ලකුණු 104ක් හා අමීර් ජන්ගෝ පන්දු 77කින් ලකුණු 114ක් ලෙස එම ශතකවලට හිමිකම් කියූහ.
මෙලෙස එක්දින ඉනිමකදී ශතක 3ක් වාර්තා වූ 6වන අවස්ථාව ලෙසද එම ශතක ත්‍රිත්වය වාර්තා අතරට එක්විය.





















































