
මෙරට ප්‍රදේශ රැසකට මහත් ව්‍යසනයක් ගෙනදුන් 'දිට්වා' සුළි කුණාටුවෙන් විනාශයට පත් ප්‍රධාන පාලම් 14ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන චීන ආධාර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ නිල ගිවිසුමකට චීනය සහ ශ්‍රී ලංකාව අත්සන් තබයි.
ශ්‍රී ලංකාවේ චීන තානාපති Wei Huaxiang සහ අමාත්‍යාංශ ලේකම් ආසිරි කරුණාවර්ධන යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම ගිවිසුමට ඊයේ (28) අත්සන් තැබුණේ කොළඹ පිහිටි ප්‍රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්‍යාංශයේදීය.
මෙහිදී අදහස් දක්වමින් චීන තානාපතිවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකා රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව, යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සඳහා සහායවීමට චීන විශේෂඥ කණ්ඩායමක් ද ගෙන්වා ක්ෂේත්‍ර පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතියේ අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කළ බවයි.
ශ්‍රී ලංකාවේ ජනතාවට ස්ථිර සහ සැබෑ ප්‍රතිලාභ ලබාදීම සඳහා මෙම ව්‍යාපෘතියේ සංවර්ධන හා කළමනාකරණ කටයුතු ශ්‍රී ලංකාව සමඟ එක්ව ඉතා සැලකිල්ලෙන් යුතුව සිදු කරන බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
චීන රජයේ මෙම සහයෝගය අගයමින් අමාත්‍යාංශ ලේකම් ආසිරි කරුණාවර්ධන මහතා මෙහිදී සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය හරහා පශ්චාත් ආපදා ප්‍රවාහන දුෂ්කරතා මඟහරවා ගැනීමට පමණක් නොව, සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රවාහන යටිතල පහසුකම් ද ඉහළ නැංවෙනු ඇති බවයි.
පසුගිය 2025 වසරේ නොවැම්බර් අග භාගයේ සිට දෙසැම්බර් මුල දක්වා කාලය තුළ, ශ්‍රී ලංකාවට බලපෑ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් රට පුරා මහත් ව්‍යසනයක් සිදු වූ අතර ඉන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 600කට අධික විය.
එමෙන්ම ඇ.ඩො. බිලියන 4.1ක පමණ ආර්ථික සහ යටිතල පහසුකම් හානියක් ද එහිදී සිදුව ඇති බවට ඇස්තමේන්තුගත කර තිබේ.





















































