
බද්දේගම, හල්පාතොටදී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ වෙඩිතැබීමේ සිද්ධියට අදාළ ප්‍රවාහන පහසුකම් සැලසීම සම්බන්ධයෙනි.
ප්‍රශ්නකිරීම්වලදී සැකකරුවන් අනාවරණ කර ඇත්තේ ඩුබායිහි සැඟව සිටින මෙරට අපරාධකරුවන් දෙදෙනෙකු වෙඩිතැබීම මෙහෙයවූ බවය.
බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ලොකු පැටීගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බව කියන කාන්තාවක සිය මව සමග ගමන් කරමින් තිබූ කුලී ත්‍රිරෝද රථයකට බද්දේගම, හල්පාතොට ප්‍රදේශයේදී වෙඩිතැබීමේ සිදුවීම වාර්තා වුණේ ඊයේ (27) පෙරවරුවේදීය.
ත්‍රිරෝද රථය පසුපස මෝටර් රථයකින් හඹාආ පිරිසක් විසින් T 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණි.
එහිදී වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් කුලී රථ රියදුරා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්විය.
එමෙන්ම අදාළ කාන්තාවද රෝහල්ගත කිරීමේදී මියගිය අතර ඇගේ මවද වෙඩිවැදීමෙන් තුවාල ලැබීය.
මෙම වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු ගෝනාපීනුවල ප්‍රදේශයේදී ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැනුණේ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 16කට අධික ප්‍රමාණයක්ද සමගය.
මෙලෙස අත්අඩංගුවට ගැනුණේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු සහ හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිදුකෙරෙන ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් එම සිද්ධියට අදාළ තොරතුරු රැසක් අනාවරණ කර තිබේ.
ඊට අනුව, මෙම වෙඩිතැබීම මෙහෙයවා ඇත්තේ ඩුබායිහි සිටින මෙරට අපරාධකරුවන් දෙදෙනෙකු විසින් වන අතර, ඉන් එක් අයෙකු කරන්දෙණිය සුද්දාගේ සමීපතමයෙකි.
ඔවුන්ගේ දැනුම්දීමට අනුව ඝාතනයට ප්‍රවාහන පහසුකම් සලසා ඇත්තේ අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා විසිනි.
ඔවුන් ලබාදුන් මෝටර් රථයකින් රියදුරා සහ වෙඩික්කරු අපරාධය සඳහා පිටත්ව ගොස්ඇති නමුත් වෙඩි තැබීමට සැලසුම් කළ ස්ථානයට මීටර් 200ක් පමණ දුරින් එම මෝටර් රථයේ කාර්මික දෝශයක් හටගෙන තිබේ.
රියැදුරා විසින් දුරකථන ඇමතුමක් මගින් ඒ බව තමාට දැනුම්දීමෙන් පසුව ඔවුන් දෙදෙනා වෙනත් ස්ථානයකට කැටුව ගිය බවත් අපරාධය සඳහා වෙනත් මෝටර් රථයක් ලබාදුන් බවද සැකකරුවන් පවසා ඇත.
මේ අතර මෙම සැකකරුවන් අතරින් දෙදෙනෙකු ඝාතනයට පෙරදින මිද්දෙණිය පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් සැකකටයුතු හැසීරීම මත පරීක්ෂාවට ලක්කර මුදාහැර ඇතැයි වාර්තා වේ.
මිද්දෙණිය නගරයේදී රාත්‍රී කාලයේ සැකකටයුතු ලෙස හැසිරුණු ඔවුන් පරීක්ෂාවට ලක්කිරීමේදී නිසි පරිදි අනන්‍යතාවය තහවුරු කළ බැවින් මුදාහැර ඇති බව වාර්තා වේ.
මේ අතර කාර්මික දෝශයට ලක්වූ මෝටර් රථය සහ සිද්ධියට අදාළව භාවිත කළ ත්‍රි රෝද රථයක් ද වෙඩාතැබීමේ සිද්ධියට අදාළ විමර්ශන වලදී විමර්ශන වලදී පොලිස් භාරයට ගෙන තිබේ.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ මෙහෙයවීමෙන් ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සහ තවත් විමර්ශන කණ්ඩායම් කිහිපයක් මගින් විමර්ශන ක්‍රියාත්මකය.





















































