
ළමා දින ජාතික සතියේ සිව්වන දිනය අදට (28) යෙදී තිබේ.
ඒ අනුව අද දිනය දරුවන්ගේ නිර්මාණශීලීත්වය, ස්වාධීන චින්තනය සහ විශ්ලේෂණාත්මක හැකියාවන් වර්ධනය කිරීම සඳහා වූ නවෝත්පාදන වැඩසටහන් වෙනුවෙන් වෙන් කර ඇත.
ඒ අනුව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර නව්‍යකරණ නියෝජිතායතනය සමග එක්ව සංවිධානය කළ විශේෂ නවෝත්පාදන වැඩසටහනක් අද පෙරවරුවේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරිය ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
මෙහිදී අමාත්‍යවරයා කුමරතුංග මුනිදාසයන්ගේ "අලුත් අලුත් දෑ නොතකන ජාතික ලොව නොනගී" යන ප්‍රකට කියමන සිහිපත් කරමින් පැවසුවේ රටක අනාගතය ගොඩනැගෙන්නේ නව අදහස් ඇති, ප්‍රශ්න කිරීමටත්, අත්හදා බැලීමටත්, අසාර්ථකත්වයෙන් ඉගෙන ගැනීමටත් හැකි දරුවන් බිහිකිරීම තුළින් බවය.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා ලෝකයේ ජනප්‍රිය අයිස් රසකැවිල්ලක් වන Popsicle නිර්මාණය වූ ආකාරය පිළිබඳවද දරුවන් දැනුවත් කරමින් පසුව එය වාණිජ නිෂ්පාදනයක් දක්වා වර්ධනය වූ ආකාරයද පෙන්වීය.
ඒ අනුව මෙහි සැබෑ පාඩම Popsicle නිෂ්පාදනය නොව දරුවෙකු තුළ ඇති කුතුහලය සහ වෙනස් ආකාරයකින් සිතීමේ හැකියාව බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම නිර්මාණශීලිත්වය යනු චිත්‍ර ඇඳීම, කවි, කෙටිකතා හෝ නවකතා නිර්මාණය කිරීම පමණක් නොවන බවත් තමන් අවට ඇති ගැටලුවක් වෙනස් ආකාරයකින් දැක එයට විසඳුමක් සෙවීම නිර්මාණශීලිත්වයේ කොටසක් බවද අමාත්‍යවරයා මෙහිදී සිසු දරුවන්ට පෙන්වීය.





















































