
පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 15ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 104කට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ පසුගිය 19 වැනිදා සිට අද (27) උදෑසන 6 දක්වා කාලය තුළ එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පවුල් 943කට අයත් පුද්ගලයින් 3,495ක් අයහපත් කාලගුණය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බවය.
එමෙන්ම මෙම තත්ත්වය තුළ මරණ 03ක් සහ තුවාල ලැබූ පුද්ගලයින් 05 දෙනෙකු මෙන්ම එක් අයෙකු අතුරුදන්ව ඇතැයිද වාර්තා වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.
තවද අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ නිවාස හානි 02ක් සහ අර්ධ නිවාස හානි 448ක් වාර්තා වී ඇති බවද එම මධ්‍යස්ථානය පෙන්වා දී ඇත.
එමෙන්ම සුරක්ෂිත මධ්‍යස්ථාන 05ක් තුළ පවුල් 36කට අයත් පුද්ගලයින් 124 දෙනෙකු සිටින බවද එම මධ්‍යස්ථාන සඳහන් කළේය.
පැවති අධික වැසි තත්ත්වයෙන් වැඩිම බලපෑමක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කය තුළ බලපෑමට ලක්වූ පුද්ගලයින් 782ක් වාර්තා වී තිබේ.
මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 688ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 473, මාතර 383, පුත්තලම 310, කෑගල්ල 224ක් ආදී ලෙස වැඩිම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.





















































