
පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ සොයාබැලීම සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත.
එමෙන්ම මෙම සිද්ධිය පිළිබඳ සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද එම රෝහල වෙත පැමිණීමට නියමිතව තිබේ.
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාද සිද්ධිය සැලවූ පසු රෝහලට පැමිණි අතර, එහිදී හෙතෙම සඳහන් කර සිටියේ, සිදුවූ හානිය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා බවය.
එමෙන්ම මෙම පිපිරීමෙන් රෝහලේ සිටි රෝගීන්ට හානියක් සිදුවී නොමැති බවත් හෙතෙම තහවුරු කළේය.
රෝහලේ මුළුතැන්ග පරිශ්‍රයේ අද (26) අලුයම 4ට පමණ සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
ඉන් බරපතළ තත්ත්වයෙන් සිටි තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළේය.
රෝහලේ ප්‍රධාන මුළුතැන්ගෙයි ගෑස් කාන්දුවීමකින් ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් මෙය සිදුවන්ට ඇති බවට සැකකෙරෙන අතර, ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී.
පිපිරීම හේතුවෙන් අසල පිහිටි ගොඩනැගිලි කිහිපයකට ද දැඩි ලෙස හානි සිදුවිය.
මෙම පිපිරීමෙන් රෝහල් කටයුතුවලට බාධා එල්ලවී තිබුණද, රෝහලේ කොටසක එම කටයුතු පවත්වාගෙන යාමට කටයුතු කළේය.
කෙසේ නමුත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පොළොන්නරුව මහ රෝහලට මාරු කර යැවීමට පියවර ගත්තේය.





















































