
නීති විරෝධී ධීවර කටයුතු සහ ධීවර යාත්‍රා යොදා ගනිමින් සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියා මැඩලීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් කමිටු ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව මීගමුව, හලාවත, පුත්තලම, මන්නාරම ඇතුළු ධීවර දිස්ත්‍රික්ක 15ක් ආවරණය වන පරිදි දිස්ත්‍රික් කමිටු ස්ථාපිත කිරීමට නියමිතය.
මෙම කමිටුවල සම සභාපතිවරුන් ලෙස ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කරනු ලබයි.
මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම කමිටුව දිස්ත්‍රික් ලේකම්, දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ (ධීවර), ධීවර අමාත්‍යතුමා විසින් පත් කරන ලද ධීවර සම්බන්ධීකරණ නිලධාරී, ධීවර සමිතිවල අදාළ සාමාජිකයින්, ශ්‍රී ලංකා පොලීසිය, නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය සහ ජලජීවී වගා සංවර්ධන අධිකාරිය යන ආයතන නියෝජනය වන පරිදි සමන්විත වනු ඇත.
අවශ්‍යතාවය පරිදි ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ (NARA) හෝ වෙනත් අදාළ ආයතනවල නිලධාරීන්ද මෙම කමිටුවලට සම්බන්ධ කර ගැනීමට මෙහිදී එකඟතාව පළ විය.
විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සිදු වන මත්ස්‍ය මංකොල්ලකෑම් වළක්වා ගන්නේ කෙසේද, ධීවර වෘත්තියේ නියැලෙන්නන්ට සිදු වන අනතුරු වළක්වා ගැනීමට ගත යුතු පියවර මොනවාද යන්න පිළිබඳවද එහිදී වැඩිදුරයත් අවධානය යොමු කරන ලදී.





















































