
පිපිරීමෙන් හානියට පත් පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පස්වරුවේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම අනතුරින් මියගිය රෝහල් සේවකයා සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කර සිටින බවත්, ඔහුගේ අවමංගල කටයුතු සිදු කිරීමට අවශ්‍ය සියලු මැදිහත්වීම් රජය මගින් සිදු කරන බවත් ය.
එමෙන්ම එම පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් අවශ්‍ය වන්දි මුදල් ලබා දීමට ද රජය කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසීය.
බරපතළ තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අනෙක් සේවකයා වෙනුවෙන් ද අවශ්‍ය උපරිම සෞඛ්‍ය පහසුකම් ලබා දීමට කටයූතු කරන බවත් අවශ්‍ය වුවහොත් ඔහුව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගන්නා බවද අමත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
"පුද්ගලයින් හත්දෙනෙක් අනතුරට ලක් වුණා. එක්කෙනෙකුට වැඩි තුවාල සිදුවී නොතිබූ නිසා ඩිස්චාජ් කළා. තවත් පස්දෙනෙක් දැනට රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉන්නවා. එක්කෙනෙක් මියගොස් තිබෙනවා. රාජකාරී කරමින් සිටි අපේ සෞඛ්‍ය කාර්ය සහායක මහත්මයෙක්, වයස අවුරුදු 34යි. ඔහුගේ මියයාම සම්බන්ධයෙන් රජය හැටියට අපි අපේ කණගාටුව ප්‍රකාශ කරනවා. අවමංගල කටයුතු සිදු කිරීමට අවශ්‍ය සියලු මැදිහත්වීම් රජය මගින් සිදු කරනවා. ඒ වගේම ඉදිරියේදී ඒ පවුලේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය කරන වන්දි මුදල් ලබාදෙන්නත් රජය කටයුතු කරනවා. ජනාධිපතිතුමා එක්කත් අපි ඒ ගැන සාකච්ඡා කළා. ඊට අමතරව අපේ තවත් එක් රෝහල් සේවකයෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නම් කොළඹ ජාතික රෝහලට හෝ එතනින් එහාට හෝ යොමු කරන්න අපි සූදානම්. නමුත් දැනට පොළොන්නරුව දිස්ත්‍රික් මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී ඔහුට අවශ්‍ය උපරිම ප්‍රතිකාර ලබාදෙමින් ඉන්නවා."
පිපිරීම හේතුවෙන් රෝහල් ගොඩනැගිලි කිහිපයකට දැඩි හානි සිදුව ඇති අතර, නේවාසිකව සිටි රෝගීන් පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කිරීමට පියවර ගෙන ඇත.
ගොඩනැගිලි සංකීර්ණය තවමත් අනතුරුදායක මට්ටමක පවතින බැවින්, ඉංජිනේරු වාර්තාවලට අනුව අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සහ උපකරණ නැවත ලබාදීම් මැදි කාලීන සැලසුමක් ලෙස සිදු කරන බව අමාත්‍යවරයා පැවසීය.
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
''මේ ගොඩනැගිල්ලට විශාල හානියක් සිදුවෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් පොලීසිය පැත්තෙන් විමර්ශන කටයුතු සිදුවෙනවා. ඒ වගේම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ අදාළ විමර්ශන කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඊට අමතරව, සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙනුත් පරීක්ෂණයක් පැවැත්වෙනවා. මේ රෝහලට ආසන්න ප්‍රදේශවල රෝගීන් ඩයලිසිස් (Dialysis) ප්‍රතිකාර සඳහා පැමිණෙනවා. ඒ අයට ප්‍රතිකාර කිරීමේ කටයුතු අපිට ආරම්භ කරන්න පුළුවන්. ඒ අනුව පොළොන්නරුව, ඇලහැර, බකමූණ ඇතුළු අවට ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය ඩයලිසිස් පහසුකම අපි අද හවස ඉඳන් ආරම්භ කරනවා. ඒ අයට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීමටත් අපි මැදිහත් වෙනවා. මේ ගොඩනැගිලි සංකීර්ණය තාම අනතුරුදායක ස්වභාවයකයි පවතින්නේ. ගොඩනැගිලි කොටස් තවමත් කඩාගෙන වැටෙනවාද යන්න පිළිබඳව අපගේ ඉංජිනේරු අංශය වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. එතැනින් එහාට අවශ්‍ය අලුත්වැඩියාවන් සහ උපකරණ නැවත ලබාදීම් ඇතුළු සියලු දේට රජය මැදිහත් වෙනවා. එය මැදි කාලීන කටයුත්තක් නිසා ඒ සඳහා යම් කාලයක් ගතවේවි."





















































