
සංචාරක ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ලීඩ්ස්හිදී පැවැත්වෙන දෙවන එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 6ක් දැවී දැවී ලකුණු 321ක් රැස්කිරීමට සමත්විය.
ඒ අනුව තරග 3කින් යුත් මෙම තරගාවලියේ ශ්‍රී ලංකාවට තවදුරටත් රැදී සිටීමට නම් මෙම ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කරගත යුතුය.
ශ්‍රී ලංකා ලකුණු පුවරුව ගෞරවාන්ත තත්ත්වයකට රැගෙන ඒමට දායක වූ නායක කුසල් මෙන්ඩිස් පන්දු 100කින් විශිෂ්ට ලකුණු 121ක් රැස්කිරීමට සමත් විය. ඔහුගේ එක්දින දිවියේ 7වන ශතකය මෙන්ම එංගලන්තයට එරෙහිව රැස්කළ පළමු ශතකය වූ මෙම ඉනිම, හයේ පහර 3කින් හා හතරේ පහර 14කින් වර්ණවත් විය.
කුසල්ගේ එක්දින දිවියේ 7වන ශතකය මෙන්ම එංගලන්තයට එරෙහිව රැස්කළ පළමු ශතකය වූ මෙම ඉනිම සංචාරක කණ්ඩායමක කඩුලු රකින්නෙකු එංගලන්තයට එරෙහිව එරට පැවති එක්දින තරගයදී ශතකයක් රැස්කළ 7වන අවස්ථාව ලෙසද වාර්තා අතරට එක්විය.
කුමාර් සංගක්කාර ඉන් අවස්ථා 2කට (2013/2014) හිමිකම් කියයි.
තවද මෙම තරගය පැවැත්වෙන ලීඩ්ස් ක්‍රීඩාංගණයේ එංගලන්තයට එරෙහිව ශතකයක් රැස්කළ පළමු විදෙස් කඩුලු රකින්නා ඔහු වේ.
මේ අතර මෙහිදී කමිඳු මෙන්ඩිස් ලකුණු 54ක් රැස්කළ අතර, කමිඳු - කුසල් සුසංයෝගය දෙවන කඩුල්ලට පන්දු 120කින් ලකුණු 137ක ශතක සබඳතාවක්ද පැවැත්වූහ.
ඔවුන් දෙදෙනාට අමතරව පවන් රත්නායක (48), ජනිත් ලියනගේ (32) පිත්තෙන් දක්ෂතා දැක්වූහ. එංගලන්තය වෙනුවෙන් රෙහාන් අහ්මඩ් (2/48) හා ගස් ඇට්කින්සන් (2/55) කඩුලු දෙක බැගින් දවාගත්හ.
මෙම තරගය පැවැත්වෙන ලීඩ්ස් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන15වන එක්දින ජාත්‍යන්තර තරගය මෙය වන අතර, මේ දක්වා පැවති තරග අතරින් ශ්‍රී ලංකාව තරග 7ක් ජයගෙන ඇති අතර, තරග 6ක් එංගලන්තය ජයගෙන තිබේ.
ශ්‍රී ලංකාව අද රැස්කළ ලකුණු සංඛ්‍යාව මෙම ක්‍රීඩාංගණයේ කණ්ඩායමක් රැස්කළ 6වන ඉහළ ලකුණු සංඛ්‍යාව වන අතර, එහි තෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කර ඇත්තේද ශ්‍රී ලංකාවය.
එම ලකුණු සංඛ්‍යාව 2006 වසරේදී වාර්තාකර ඇති අතර, එවර ඔවුන් එංගලන්තයෙන් හිමිවූ ලකුණු 321ක ඉලක්කයක් පන්දුවාර 37.3කදී හඹාගොස් තිබීම සුවිශේෂීය.



















































