
නාවලපිටිය බෝහිල් වතුයායේ වතු නිවාස පේළියක් මතට මැයි මාර ගසක් කඩා වැටීමෙන් නිවාස 05ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
ඊයේ (23) රාත්‍රියේ පැවැති අධික වර්ෂාවත් සමඟ මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූවන් වහාම නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් බරපතළ තත්ත්වයේ පසු වූ එක් තුවාලකරුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවූ බව නාවලපිටිය පොලීසිය පවසයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ 46 හැවිරිදි මවක්, ඇගේ 13 හැවිරිදි දියණිය සහ අසල නිවසක පදිංචිව සිටි 36 හැවිරිදි කාන්තාවකි.
අනතුරට ලක්වූ ගස දැඩි අවදානම් තත්ත්වයක පැවති බැවින් එය කපා ඉවත්කර දෙන ලෙස ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා, ප්‍රාදේශීය ලේකම්වරයා සහ වතු අධිකාරීවරයා ඇතුළු බලධාරීන් රැසක් අවස්ථා ගණනාවකදී දැනුවත් කළද,ඊට නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් මෙම අනතුර සිදු වූ බව පීඩාවට පත් ප්‍රදේශවාසීහු චෝදනා කරති.
සිද්ධියෙන් පසු නාවලපිටිය පොලීසිය සහ මහනුවර ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 2 වන බලඇණියේ භට පිරිස් එක්ව ගස ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
කෙසේ වෙතත් ගස සම්පූර්ණයෙන්ම ඉවත්කිරීමට භූම් යන්ත්‍රයක් (JCB) අවශ්‍ය වන බැවින්, දැනට අනතුරුදායක කොටස් පමණක් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
මෙම අනතුරින් වතු කම්කරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය ඇතුළු දේපළ රැසකට දැඩි හානි සිදුව ඇති අතර, අවතැන් වූ පවුල්වල සාමාජිකයන් වතුයායේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ තාවකාලිකව නැවැත්වීමට වතු පාලන අධිකාරිය පියවර ගෙන ඇත.


















































