
නාවික හමුදාව විසින් පුත්තලම කළපුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 900කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඊයේ(22) වයඹ නාවික විධානයේ පුත්තලම ගගේවාඩිය ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බළඝණ මූලස්ථානය වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම මඟින්, එම කළපු ප්‍රදේශයෙහී ළඳු කැලෑවක තිබූ සැකකටයුතු උර 24ක් පරීක්‍ෂාවට ලක්කර තිබේ.
එහිදී, නීතිවිරෝධී ලෙස රට තුලට රැගෙනවිත් ජාවාරම්කරුවන් විසින් අතහැර දමායන ලද බවට සැකකෙරෙන, බීඩි කොළ කිලෝ ග්‍රෑම් 908ක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදා භාරයට ගත් අදාල බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
















































