
ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම ගඟේවාඩිය කළපු ප්‍රදේශයේ සහ සේරක්කුලිය වෙරළ තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 821ක තොගයක්, ඩිංගි යාත්‍රා දෙකක් සහ සැකකරුවන් දෙදෙනෙකු භාරයට ගෙන තිබේ.
වයඹ නාවික විධානයට අයත් 'ශ්‍රී ලංකා නාවික නෞකා විජය' ආයතනය මඟින් ඊයේ (21) රාත්‍රී කාලයේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
එහිදී ඉප්පන්තිව් කළපු ප්‍රදේශයේ ගමන් කළ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී, බීඩි කොළ උර 10ක් සමඟ කල්පිටිය ආනවාසල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35 සහ 36 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරුව සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ සිදුකළ වැඩිදුර සෝදිසි කිරීමේදී, ජාවාරම්කරුවන් විසින් අතහැර දමා ගොස් තිබූ බීඩි කොළ උර 12ක් සහිත තවත් ඩිංගි යාත්‍රාවක් නාවික හමුදාව භාරයට ගෙන ඇත.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, ඩිංගි යාත්‍රා සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ.



















































