
වත්මන් අන්තර් සමාජ ප්‍රධානතම ටියර් 'A' කාණ්ඩයේ ක්‍රීඩා සමාජ 14, ඉදිරි වසර දෙක තුළ 10 දක්වා අඩු කිරීමටත්, ටියර් 'B' කාණ්ඩයේ ක්‍රීඩා සමාජ 12, එලෙසම පවත්වා ගෙන යාමටත් ක්‍රිකට පරිවර්තන කමිටුව තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මෙතෙක් ප්‍රගතිය පිළිබඳ ප්‍රකාශය ඇතුලත් නිවේදනයෙන් මේ බව දැනුම් දී තිබේ.
ටියර් 'A' කාණ්ඩයේ ක්‍රීඩා සමාජ සංඛ්‍යාව අඩු කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ රටේ සිටින දක්ෂතම ක්‍රීඩකයන් ඉහළම මට්ටමේ දේශීය තරගාවලියට එක් කිරීම සහ එමඟින් වඩාත් තරගකාරී ක්‍රිකට් වටපිටාවක් නිර්මාණය කිරීම බව එහි සඳහන් වේ.
වඩාත් තරගකාරී ක්‍රිකට් ව්‍යුහයක් හරහා දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ සමස්ත ප්‍රමිතිය ඉහළ නැංවීමටත්, ජාතික කණ්ඩායම් සඳහා දක්ෂ ක්‍රීඩකයන් සපයන මාර්ගය තවදුරටත් ශක්තිමත් කිරීමටත් හැකි වනු ඇතැයි කමිටුව විශ්වාස කරයි.
ටියර් 'A' කාණ්ඩයේ ලීග් තරගාවලිය දැනට ක්‍රියාත්මක වන දින තුනක ආකෘතිය වෙනුවට දින හතරක් පුරා පැවැත්වීමටද ක්‍රිකට් පරිවතන කමිටුව තීරණය කර තිබේ.
ක්‍රිකට් ක්‍රීඩාවේ උත්තරීතම ආකෘතිය ලෙස සැලකෙන ටෙස්ට් ක්‍රිකට් සඳහා ක්‍රීඩකයන් වඩාත් හොඳින් සූදානම් කිරීමට දින හතරක දේශීය තරගාවලියක් වැදගත් පියවරක් වනු ඇතැයි කමිටුව විශ්වාස කරයි.
එමෙන්ම, ක්‍රීඩකයන්ට ප්‍රමාණවත් විවේක කාලයක් ලබා දෙමින් පැහැදිලි සහ විධිමත් දේශීය ක්‍රිකට් දින දර්ශනයක් සකස් කිරීම සඳහා ද පියවර ගෙන තිබේ.
මෙමඟින් ක්‍රීඩකයන්ට සිදුවිය හැකි ආබාධ සහ අධික වෙහෙස හේතුවෙන් ක්‍රීඩකයන්ගේ අවදානම අවම කිරීමට හැකි වන අතර, ක්‍රීඩා සමාජ, පුහුණුකරුවන් සහ අනෙකුත් පාර්ශ්ව වලට තම කටයුතු කල්තියා සැලසුම් කිරීමට ප්‍රමාණවත් කාලයක් හිමි වනු ඇත.
අනාගත ජාතික කණ්ඩායම් නියෝජනය සඳහා දක්ෂතා හඳුනාගෙන සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පෝෂක මාර්ගයේ වැදගත් අංගයක් වන ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් තරගාවලිය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතුද මේ වන විට සිදු වෙමින් පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.



















































