
Summary
මන්නාරම උතුරු මුහුදේදී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව අද (21) අලුයම මුදා ගැනීමට කටයුතු කර තිබේ.
යාපනය ගුරුනගර් ධීවර වරායෙන් පසුගිය 19 වැනි දින ධීවරයින් දෙදෙනෙකු රැගන් ධීවර යාත්‍රාවක් නැවත ධීවර වරාය වෙත පැමිණ නැති බවත් එම යාත්‍රාව සොයා ගැනීම සඳහා නාවික හමුදාවේ සහාය ලබා දෙන ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් කොළඹ සමුද්‍රීය හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දන්වා තිබුණි.
එම දැනුම්දීම මත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් එම මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු සිදුකරනු ලබන යාත්‍රා වෙත මේ සම්බන්ධව දැනුවත් කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව සිදුකළ සෙවීම් හා මුදා ගැනීම් මෙහෙයුම් සඳහා උතුරු සහ උතුරු මැද නාවික විධාන දැනුවත් කර ඇති අතර ඒ අනුව සිදුකළ මෙහෙයුමේදී තලෙයිමන්නාරමට උතුරු මුහුදේ ඉන්ධන නොමැතිව අක්‍රීය වී පාවෙමින් තිබූ මෙම යාත්‍රාව සොයා ගැනීමට හැකිව තිබේ.
එහිදී යාත්‍රාව තුළ සිටි ධීවරයින් දෙදෙනාද මුදා ගෙන ඇති අතර ඔවුන් සහ අදාළ යාත්‍රාව තලෙයිමන්නාරම ධවෙත රැගෙන විත් අවශ්‍ය මානුෂීය ආධාර සැපයීමද සිදුකර තිබේ.



















































