
හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ සෙන්ජෝන් ඩිලරිවත්ත ප්‍රදේශයේදී වැටී තිබුණු, රුපියල් 4,50,000කට ආසන්න වටිනාකමකින් යුත් රන් අත්පලඳනාවක් (බ්‍රේස්ලට්) අහුලාගත් තරුණයෙකු, එය එහි සැබෑ අයිතිකරු වෙත භාරදීමට කටයුතු කර තිබේ.
මෙලෙස කටයුතු කර ඇත්තේ බගවන්තලාව කිලානි වතුයායේ පදිංචි ඩී. ජේ. රමේෂ් නැමැති තරුණයෙක්ය.
පාරේ වැටී තිබියදී හමුවූ මෙම රන් අත්පලඳනාව, නැතිවූ අයිතිකරු සොයා භාරදීමේ අරමුණින්, ඔහු එය බගවන්තලාව පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.
එමෙන්ම ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරයක් සිදුකිරීමටද ඔහු කටයුතු කර ඇත. එම සමාජ මාධ්‍ය ප්‍රචාරය සැබෑ අයිතිකරු දැක ඇති අතර, ඒ අනුව ඔහු එම පලඳනාවට අදාළ සියලුම හිමිකම් ලියකියවිලි ද සහිතව බගවන්තලාව පොලිස් ස්ථානය වෙත පැමිණ ඇත.
බගවන්තලාව කිව්වත්තේ පහළ කොටසේ පදිංචිකරුවෙකු වන ඔහුගේ එම ලියකියවිලි පරීක්ෂා කර, එහි නිවැරදි අනන්‍යතාවය තහවුරු කරගැනීමෙන් අනතුරුව, පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නුවන් මධුසංඛ මහතා එම අත්පලඳනාව අහුලාගත් තරුණයා පොලිස් ස්ථානය වෙත කැඳවනු ලැබීය.
අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීමෙන්, අදාළ තරුණයාගේ සුරතින්ම එම රන් අත්පලඳනාව එහි සැබෑ අයිතිකරුට භාරදීමට කටයුතු කෙරිණි.



















































