
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය දිනක ලන්ච්ෂීට් සහ LDPE/LLDPE 'සිලි සිලි' බෑග් සම්බන්ධයෙන් දිවයින පුරා විශේෂ වැටලීම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
දිස්ත්‍රික් කාර්යාලවලින් ලැබී ඇති මූලික වාර්තා අනුව, දිස්ත්‍රික්ක 22කින් අදාළ නීති උල්ලංඝන වැටලීම් 104ක් වාර්තා වී ඇත.
ලන්ච්ෂීට් සම්බන්ධ අදාළ නීති උල්ලංඝන 43ක් ,'සිලි සිලි' බෑග් සම්බන්ධ උල්ලංඝන 58ක් සහ වෙනත් පොලිතින් ආශ්‍රිත උල්ලංඝන 3ක් පමණ වාර්තා වී ඇති බව සඳහන් වෙයි.
2019.11.29 දිනැති අංක 2151/58 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති විධාන අංක 70 අනුව ලන්ච්ෂීට් සඳහා නියම කර ඇති ලේබල් කිරීමේ අවශ්‍යතා පිළිපැදිය යුතුය.
මෙම විශේෂ වැටලීම්වලදී අදාළ නියමයන්ට අනුකූල නොවන ලන්ච්ෂීට් තොග දිස්ත්‍රික්ක රැසකින් අනාවරණය වී තිබේ.
එලෙසම 2025.10.01 දිනැති අංක 2456/41 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති විධාන අංක 95 අනුව අදාළ LDPE/LLDPE බෑග් පාරිභෝගිකයන්ට නොමිලේ ලබාදිය නොහැක.
එවැනි බෑගයක් පාරිභෝගිකයෙකුට ලබාදෙන්නේ නම්, එහි මිල වෙළෙඳ ස්ථානයේ පැහැදිලිව ප්‍රදර්ශනය කළ යුතු අතර, බෑගය සඳහා අය කළ මුදල පාරිභෝගිකයාගේ බිල්පතෙහි සඳහන් කළ යුතුය.
මෙම වැටලීම්වලදී අනාවරණය වන භාණ්ඩ සම්බන්ධයෙන් සැපයුම්කරුවන්, බෙදාහරින්නන් සහ නිෂ්පාදකයන් දක්වා සැපයුම් දාමය ඔස්සේ පසු විමර්ශන සිදුකර, අනාවරණය වන කරුණු අනුව අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරයි.
පාරිභෝගික සේවා අධිකරණය භාරයට ගත් භාණ්ඩ අදාළ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා ඉදිරිපත් කෙරෙන අතර, ලන්ච්ෂීට් සහ 'සිලි සිලි' බෑග් සම්බන්ධ වෙළෙඳපොළ පරීක්ෂා හා වැටලීම් දිවයින පුරා අඛණ්ඩව සිදු කරන බව සඳහන් වෙයි.



















































