
කූට ලේඛන සැකසීම සඳහා අන්සතු ගුවන්ගමන් බලපත්‍ර 48ක් සන්තකයේ තබා ගෙනසිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු කාර්යාල කාර්ය සහායකයෙකු නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සමග ගුවන්ගමන් බලපත්‍රවල සහ මුදල් නෝට්ටුවල ආරක්ෂණ සළකුණු පරික්ෂා කරන ව්‍යාජ යන්ත්‍රයක් මෙන්ම ස්මාර්ට් ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
කඩුවෙල ඉහළ බෝමිරිය ප්‍රදේශයේ නිවසක පුද්ගලයකුට තානාපති කාර්යාල හරහා වීසා ලබාගැනීමට කූට ලේඛන සකස් කරන බවට නවගමුව පොලිසියට අනුයුක්ත, කොට්ඨාස බුද්ධි අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට (101998) තොරතුරක් ලැබී ඇත.
එම තොරතුරට අනුව නවගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත ජයනාත් මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.කේ.පී.වී ශ්‍රීමාල් මහතා ඇතුළු කණ්ඩායමක් සිදුකළ වැටලීමකින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු වසර 5ක පමණ කාලයක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහයකු ලෙස සේවය කළ බව පවසා ඇත.
අනතුරුව බත්තරමුල්ල ප්‍රදේශයේම රැකියා නියෝජිත ආයතනයක සේවය කර මෙම ගුවන්ගමන් බලපත්‍ර රැගෙන ආ බව පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.
සංචාරක වීසා මත විවිධ රටවලට විදේශගතවීමට බලාපොරොත්තුවන පුද්ගලයන් සඳහා ඔවුන් මීට පෙර විදේශගත වූ බවට එම තානාපති කාර්යාලවලට හැඟවීමට, පැරණි ගුවන්ගමන් බලපත්‍රවල තිබෙන වීසා කොටස හුමාලය අල්ලා සූක්‍ෂම ලෙස ගලවා නව ගුවන්ගමන් බලපත්‍රවලට කූට ලෙස එක්කර ඇත.
ඒ සඳහා එක් පුද්ගලයකුගෙන් රුපියල් 20,000 මුදලක් අයකළ බවත් සැකකරු පොලිසිය හමුවේ පවසා තිබේ.
සැකකරු සන්තකයේ තිබූ ගුවන්ගමන් බලපත්‍රවලින් 15ක පමණ සැකකරු එලෙස අදාළ වීසා කොටස ඉවත් කර තිබූ බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



















































