
වෙළෙඳපොළේ අලෙවි වන ඇතැම් ළදරු ඩයපර්ස් භාවිතයේදී ඉරීයාම සහ දිරාපත්වීම සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි සලකා බලමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එම විමර්ශනවලදී අදාළ ඩයපර්ස් සැපයුම් හා බෙදාහැරීමේ මාර්ග පිළිබඳව සිදුකළ විපරම්වල ප්‍රතිඵලයක් ලෙස කොට්ටාව සහ පිටකොටුව ප්‍රදේශවල පිහිටි ව්‍යාපාරික ස්ථාන දෙකක් වැටලීමට එම අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන ඇත.
එහිදී ලියාපදිංචි ආනයනකරුගේ නම, ලිපිනය, දුරකථන අංකය හෝ වෙබ් අඩවි තොරතුරු සඳහන් නොකර, අංක 85 දරන විධානය උල්ලංඝනය කරමින් ආනයනික ළදරු ඩයපර්ස් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම සහ තොග වශයෙන් බෙදාහැරීම සම්බන්ධයෙන් අදාළ ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.
අදාළ නඩුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී වරද පිළිගැනීම හේතුවෙන් කොට්ටාව වෙළඳසැලට රුපියල් 10,000ක සහ පිටකොටුව වෙළඳසැලට රුපියල් 25,000ක දඩයක් නියම කෙරිණි.
ළදරු ඩයපර්ස් වැනි සනීපාරක්ෂක නිෂ්පාදන මිලදී ගැනීමේදී ඇසුරුමේ සඳහන් ආනයනකරුගේ නම, ලිපිනය සහ දුරකථන අංකය ඇතුළු අනිවාර්ය ලේබල් තොරතුරු හොඳින් පරීක්ෂා කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම භාවිතයේදී ඉරීයාම හෝ වෙනත් යම් ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුවක් ඇති වුවහොත්, අදාළ ඇසුරුම හා මිලදී ගත් බිල්පත සුරක්ෂිතව තබාගෙන කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පැමිණිලි කරන ලෙසද එම අධිකාරිය වැඩිදුරටත් දැනුම් දෙයි.



















































