
සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී ඇතැයි වාර්තාවන ශ්‍රී ලාංකික තරුණයා නිදහස් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය හදිසි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් සිදුකළ යුතුව ඇති බව හිටපු විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
සිය 'X' ගිණුමේ සටහනක් තබමින් අලි සබ්රි මහතා සඳහන් කර ඇත්තේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අනෝජන් සිවරාජා නමැති තරුණයාට මුලින් නියම වී තිබූ පස් අවුරුදු සිර දඬුවම, මරණ දඬුවම දක්වා ඉහළ යාම පිළිබඳ තමන් දැඩි කනගාටුවට සහ කනස්සල්ලට පත්ව සිටින බවය.
"සෞදි අරාබියේ සේවයේ නිරතව සිටි අනෝජන් සිවරාසා නමැති ශ්‍රී ලාංකික තරුණයාට පනවා තිබූ වසර 5ක සිරදඬුවම, මරණ දඬුවම දක්වා ඉහළ නංවා ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ජනතාව අතර දැඩි කම්පනයක් සහ කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
සෞදි අරාබියේ නීති පද්ධතියට ගෞරව කරන අතර, සිදුව ඇතැයි කියන වරදට මෙවැනි දැඩි දඬුවමක් නියම කිරීම හමුවේ නිහඬව සිටිය නොහැකි බවට සමාජයේ කතිකාවතක් ගොඩනැගී තිබෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ සිත රිදවනසුලු ප්‍රකාශයක් වෙනුවෙන් වසර පහක සිරදඬුවමක් නියම කිරීම පවා දැඩි තීරණයක් වී ඇති පසුබිමක, එකී ක්‍රියාව වෙනුවෙන් මිනිස් ජීවිතයක් නැති කිරීම මානුෂීය විරෝධී මෙන්ම කිසිසේත්ම පිළිගත නොහැකි ක්‍රියාවක්.
අදාළ ප්‍රකාශය නිකුත් කර මිනිත්තු කිහිපයක් ඇතුළත එය ඉවත් කර ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වීඩියෝ පටයක් මගින් සමාව අයැද සිටීමටත් අනෝජන් කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.
සිත රිදවීමක් මත පදනම් වූ වරදක් හේතුවෙන් පුද්ගලයෙකුට පසුතැවීමට, තමන්ගේ වරද නිවැරදි කර ගැනීමට සහ නැවත ජීවිතය ගොඩනගා ගැනීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම අහෝසි නොකළ යුතුය.
මෙම තත්ත්වය සලකා බලමින් සෞදි බලධාරීන්ගෙන් සානුකම්පිතව ඉල්ලා සිටින්නේ අදාළ තරුණයාට ක්ෂමාදානය ලබාදෙන ලෙසයි.
එමෙන්ම ශ්‍රී ලංකා රජය මැදිහත් වී අනෝජන් වෙනුවෙන් විධිමත් නීතිමය සහාය ලබාදීමටත්, ඉහළම රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමටත් පියවර ගත යුතුය.
සාධාරණත්වය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී කරුණාවටද ඉඩක් තැබිය යුතු අතර, නැවත සිය පවුල වෙත පැමිණ අලුතින් ජීවිතය ඇරඹීමට අනෝජන්ට අවස්ථාවක් හිමිවිය යුතුය" යනුවෙන්ද එම 'X' සටහනේ වැඩිදුරටත් දක්වා තිබුණි.
සෞදි අරාබියේ සේවය කරමින් සිටි සිවරාජා අනෝජන් නමැති මෙම තරුණයා, ආගමික නායකයෙකුට අපහාස කළ බවට චෝදනා කරමින් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අනතුරුව පැවැති නඩු විභාගයේදී ඔහුට වසර 5ක සිර දඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3ක දඩ මුදලක් නියම වී තිබූ බව වාර්තා වේ.
මෙම තරුණයා නිදහස් කර ගැනීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මගින් විශේෂ මැදිහත්වීමක් සිදුකර ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර ඇත.
රියාද් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කොළඹ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලය ඒකාබද්ධව සම්බන්ධීකරණය කරමින් ඊට අදාළ සාකච්ඡා පවත්වන බවද අමාත්‍යවරයා පවසයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් මහතා චෝදනා කරන්නේ, අදාළ තරුණයාට මුලින් සිර දඬුවමක් හා දඩ මුදලක් පමණක් නියමව තිබූ නමුත්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ඉදිරිපත් කරන ලද අභියාචනය හේතුවෙන් අවසානයේ ඔහුට මරණ දඬුවම නියම වී ඇති බවය.
















































