
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවල ඉදිරිපස සහ පසුපස ආසනවල ගමන් කරන සියලුම මගීන් සඳහා ආසන පටි පැළඳීම අද (18) මධ්‍යම රාත්‍රී 12.00 සිට අනිවාර්ය කිරීමට පියවර ගෙන තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කර ඇත.
නිෂ්පාදනයෙන්ම ආසන පටි සවිකර නොමැති පැරණි වාහන සඳහා එම පහසුකම සපයා ගැනීමට රජය විසින් අවස්ථා හතරකදී ගැසට් නිවේදන මගින් සහන කාලයක් ලබා දුන් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
එම සහන කාලය අදින් අවසන් වන බැවින්, ආසන පටි සවිකර ඇති වාහනවලට පමණක් අද මධ්‍යම රාත්‍රියෙන් පසු අධිවේගී මාර්ගවල ගමන් කිරීමට නීත්‍යානුකූල අවසර හිමිවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා,
"අධිවේගී මාර්ගයේ ඉස්සරහා සීට් එකේ යන අයත්, පස්සේ සීට් එකේ යන අයත්, හැම කෙනාම සීට් බෙල්ට් දාන්න ඕන කියන නීතියට අවුරුද්දක් වෙනවා. ඒක අලුත් නීතියක් නෙමෙයි. හෙට දිනයේදී පටන් ගන්න එක තමා, අධිවේගී මාර්ගවල යන වාහනවල සමහර වාහන තියෙනවා නිෂ්පාදකයා විසින් සීට් බෙල්ට් සවි කරලා එවපු නැති. විශේෂයෙන්ම පරණ වාහන. එතකොට අපි කරපු දේ තමයි, නීති කියන ඒවා අපි දන්නවා ජනතාවට අදාළ දේවල්. එතකොට අපිට උවමනාව තිබ්බ කියලා අපි නීති පටවන්නේ නෑ, විශේෂයෙන්ම මේවා සාමාන්‍ය මේ දේවල් නිසා. එතකොට අපි අවස්ථා හතරකදී ගැසට් දික් කර කර දික් කර කර අවස්ථා දුන්නා වාහනයේ සීට් බෙල්ට් හයි කරලා නැතිව එන වාහනවල අයිතිකරුවන්ට සීට් බෙල්ට් හයි කරන්න. ඉතින් එහෙම හයි කර ගත්ත අයට පමණයි අද රෑ 12න් පස්සේ අධිවේගී මාර්ගවල නීත්‍යානුකූලව ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ."
මේ අතර රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා සඳහන් කළේ මේ සඳහා ලබාදී තිබූ වසරක පමණ සහන කාලය අදින් අවසන් වන බැවින්, හෙට සිට ආසන පටි නොපැළඳ අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් සහ මගීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය.
ඒ අනුව ආසන පටි නොමැති රථ වාහන අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමටද හෙට (19) සිට අවසර ලබා නොදෙන බව ඔහු පැවසීය.
අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම රථ වාහනවල ඉදිරිපස මෙන්ම පසුපස ආසනවල ගමන් කරන සියලුම මගීන් ද ආසන පටි පැළඳිය යුතු බව පොලීසිය අවධාරණය කර සිටී.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පෙන්වා දෙන්නේ ආසන පටි නොපැළඳීම හේතුවෙන් රිය අනතුරු හා අනතුරුවලින් සිදුවන අවදානම් ඉහළ යන බැවින් මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවය.
මෙම නීතිය ක්‍රියාත්මක කරන්නේ දඩ හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පමණක් අරමුණු කරගෙන නොව, රියදුරන්ගේ සහ මගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා බවද ඔහු සඳහන් කළේය.
විශේෂයෙන්ම රථයක පසුපස ආසනවල ගමන් කරන මගීන්ද අනිවාර්යයෙන්ම ආසන පටි පැළඳිය යුතු බවත්, ආසන පටි නොමැති වාහනවලින් අධිවේගී මාර්ගයට ඇතුළු වීමට උත්සාහ නොකරන ලෙසත් පොලීසිය දැනුම් දෙයි.

















































