
භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් නීතිවිරෝධී ලෙස රටින් බැහැරකිරීමේ සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රිමාන්ඩ් භාරයට පත්කර සිටි පුද්ගලික බැංකු නිලධාරීන් සිව්දෙනා ඇපමත මුදා හරින ලෙස නියෝග කර තිබේ.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇති අතර, ඒ අනුව එක් එක් සැකකරු රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හරින ලෙස නියෝග කර ඇත.
කෙසේ නමුත් ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවත් මහෙස්ත්‍රාත්වරයා මෙහිදී දැනුම්දී තිබේ.
එමෙන්ම අදාළ බැංකු නිලධාරීන්ට ඔවුන් සේවය කළ බැංකු ශාඛාවට සහ එහි ප්‍රධාන කාර්යාලයට ඇතුළුවීම වළක්වාලමින් තවත් නියෝගයක්ද නිකුත් කර ඇත.
මේ අතර මෙම සිද්ධියට සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටින ව්‍යාපාරික මොහොමඩ් ජිෆ්රි නමැත්තාගේ ඇප ඉල්ලීම මෙහිදී ප්‍රතික්ෂේප කර තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන ප්‍රධාන සැකකාර ව්‍යාපාරිකයා සහ තවත් සැකකරුවකු එළැඹෙන 1 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.























































