
විල්පත්තුව ජාතික වනෝද්‍යාන මායිම් කලාපයට අයත් වනාතවිල්ලුව පරණ එළුවක්කුලම නෙළුම් වැව පරිශ්‍රයේ පිහිටි කුඹුක් ගස් ගිනි ගැනීම පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වහාම විමර්ශන වාර්තාවක් කැඳවීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව මේ සම්බන්ධව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි පරිසර අමාත්‍යාංශ ලේකම්වරයාට මේ බව දන්වා ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළේය.
අමාත්‍යාංශය සඳහන් කරනුයේ අතිශය සංවේදී පරිසර පද්ධතියක පිහිටි ජල මූලාශ්‍ර රැකදෙන මෙවැනි ස්වභාවික වෘක්ෂලතා විනාශ වීම සමස්ත පරිසර පද්ධතියටම එල්ලවන බරපතළ තර්ජනයක් වන බවය.
ඒ අනුව මෙම සිදුවීම කිසියම් පාර්ශ්වයක් විසින් හිතාමතා සිදුකරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් හෝ පරිසර සංහාරයක් බවට අනාවරණය වුවහොත් ඊට සම්බන්ධ සියලු වගකිවයුත්තන්ට එරෙහිව පවතින නීතිමය රාමුව යටතේ උපරිම දඬුවම් පැනවීමට කටයුතු කරන බවද අමාත්‍යාංශ සඳහන් කළේය.
එමෙන්ම වනජීවි හා වන සංරක්ෂණ ආඥාපනත් මෙන්ම ජාතික පාරිසරික පනතේ විධිවිධාන ප්‍රකාරව මෙරට සංවේදී පරිසර කලාප හා ජල පෝෂක ප්‍රදේශ විනාශ කරන ඕනෑම ක්‍රියාවකට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යාංශය පැවසීය.
සිදුවිම සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂන දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය පරිපාලන හා ආරක්ෂක අංශ ඒකාබද්ධව සිද්ධිය වූ ස්ථානය ඒකාබද්ධ පරීක්ෂණයක්ද අද (18) එම ප්‍රදේශයේ සිදු කිරීමට නියමිතය.
















































