
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සහ බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම නච්චිකුඩා යහප්පාරු සහ යාපනය කුඩරිප්පු වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව සැප්තැම්බර් 16 සහ 17 යන දෙදින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී සැකකරුවන් සතුව තිබූ මුහුදු කූඩැල්ලන් 1,400ක් සහ යාත්‍රා තුනක්ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඊයේ (16) නච්චිකුඩා යහප්පාරු වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ සැකකරුවන් තිදෙනෙකු සමඟ මුහුදු කූඩැල්ලන් 550ක් සහ යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර, අද (17) උදෑසන කුඩරිප්පු වෙරළ ප්‍රදේශයේ සිදුකළ තවත් මෙහෙයුමකදී නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම අවස්ථාවේදී මුහුදු කූඩැල්ලන් 850ක් සහ ඩිංගි යාත්‍රා දෙකක්ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 29ත් 46ත් අතර වයස්වල පසුවන මන්නාරම සහ යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ.
සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය සහ යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චි සහ යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කර ඇත.



















































