
කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින නෝර්වුඩ්, සෝටඩ්‍රි වතුයායේ ඇළ මාර්ගයක් හරස් කරමින් සිදු කරගෙන ගිය මහා පරිමාණ අනවසර මැණික් ගැරීමේ ස්ථානයක් හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ කලාප දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් වටලා තිබේ.
වැටලීම සිදුකරන අවස්ථාවේදී එහි සිටි සැකකරුවන් පලාගොස් ඇති අතර, ඔවුන් විසින් සඟවා තිබූ වතුර මෝටර් 6ක් සහ මැණික් ගැරීමට යොදාගත් උපකරණ රැසක් පොලිස් භාරයට ගැනීමට සමත් වී ඇත.
මීට වසරකට පමණ පෙර හැටන් මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගයක් මත බැකෝ යන්ත්‍ර යොදා සම්පූර්ණයෙන්ම වසාදමා තිබූ මෙම භූමියේ, ජාවාරම්කරුවන් විසින් පුද්ගලයින් 100කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ගනිමින් නැවතත් දිවා රාත්‍රී දෙකෙහිම මෙම අක්‍රමිකතාව සිදුකරගෙන ගොස් ඇත.
ඇළ මාර්ගය හරස්කර විශාල වළවල් හාරමින් සිදුකර ඇති මෙම ජාවාරම නිසා ප්‍රදේශයේ පාරිසරික පද්ධතියට දැඩි හානියක් සිදුව තිබේ.
වැටලීමට එක්වූ පොලිස් නිලධාරීන් විසින් ඇළ මාර්ග හරස් කර තනා තිබූ වළවල් කඩා දැමීමටද පියවර ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



















































