
පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ඇල්ලූ මත්ස්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව, ඊයේ (15) මන්නාරම මුලන්කාවිල් යහප්පාර් වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මත්ස්‍යයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ ලොරි රථයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, මුලන්කාවිල් යහප්පාර් වෙරළ ප්‍රදේශයේ සැකකටයුතු ලොරි රථයක් පරීක්‍ෂාවට ලක්කෙරිණි.
එහිදී, පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන කිලෝ ග්‍රෑම් 370කට අධික මත්ස්‍ය තොගයක් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි වයස අවුරුදු 29ක් හා 48ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකු සහ එම ලොරි රථය මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබේ.
සැකකරුවන්, ලොරි රථය සහ මත්ස්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ.



















































