
ලෝක හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග හට නව හෙල්ල කට්ටලයක් ලබා දීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යා සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.
අල්ටිමේට් සහ ඩයමන්ඩ් ලීග් ශූරතා දිනාගනිමින් දිවයිනට පැමිණෙන අතරවාරයේදී රුමේෂ් තරංගගේ හෙල්ල 5කට දැඩි අලාභහානි සිදුව තිබුණි.
මේ සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගම වගකීම බාර ගතයුතු බවත් ඒ සම්බන්ධයෙන් ලිඛිත වාර්තා කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසයි.
"අපි මේ ගැන වාර්තා කරලා තියෙනවා. ලිඛිතවත් වාර්තා කිරීමට කටයුතු කරනවා. රුමේෂ්ගේ හෙල්ලේ වටිනාකම අපිට රුපියල් වලින් කියන්න බෑ. මොකද මේක සිහිවටනයක් ක්‍රීඩකයාට එක දිගටම ජයග්‍රහණය කරපු හෙල්ලක් නිසා එකේ සිහිවටනමය වටිනාකමක් තියෙන්නේ. ඒකත් අපි සැලකිල්ලට ගන්න ඕනේ. ඉතා ඉක්මට රුමේෂ් තරංගට ඒ හෙල්ල කට්ටලයක් අපි ඇනවුම් කරන්න දැනටමත් කටයුතු කරලා තියෙන්නේ. අපි ඉතා ඉක්මනට ක්‍රීඩකයාට ඒ හෙල්ල කට්ටලය අරන් දෙනවා මොකද එයා 26වනදා ආසියානු ක්‍රීඩා උලෙළට රුමේෂ්ට සහභාගීවීමට තියෙන නිසා. "
අද (15) අලුයම දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අදහස් දක්විමන් රුමේෂ් තරංග පැවසුවේ සිය ශූරතාවන් දැක්වූ හෙල්ලය ද කැඩි ගොස් ඇති බවත් තමන් ඒ සම්බන්ධයෙන් දැඩිව කණගාටුවට පත් වන බවත්ය.
අදාළ හෙල්ල තවත් දින කිහිපයකින් පැවැත්වෙන ආසියානු ශූරතා තරගාවලියටත්, 2027 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට මෙන්ම 2028 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියට ද භාවිත කිරීමට සිය අපේක්ෂාව වී තිබූ බව ද රුමේෂ් තරංග සඳහන් කළේය.
එමෙන්ම ඒවා සිහිවටන මෙන් තමන් සන්තකයේ තබා ගැනීමටත් සැළසුම් කර තිබූ බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.
තුර්කියේ ස්ථාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයට අයත් ටී.කේ. 730 දරණ ගුවන් යානයෙන් ඔහු අද අලුයම දිවයිනට පැමිණ තිබු අතර එහිදී මෙලෙස සිය හෙල්ල කට්ටලයට හානී සිදුව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් තුර්කි ගුවන් සේවයට පැමිණිල්ලක් ද සිදුකළ බව රුමේෂ් තරංග පැවසුවේ.



















































