
ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා රුමේෂ් තරංග අද (13) තරග බිමට පිවිසීමට නියමිතය.
මෙම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.40ට ආරම්භ වේ.
ලොව අංක එකේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයා වන රුමේෂ් තරංග මීටර 92.62ක දක්ෂතාවක් දක්වමින් මෙම වසරේදී ලොව හොඳම හෙල්ල විසිකිරීමේ වාර්තාවටද හිමිකම් කියයි.
මෙවර ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ ශූරතාව දිනාගත් රුමේෂ්ට ප්‍රධානතම අභියෝගය එල්ල කරනු ඇතැයි අපේක්ෂා කරන්නේ ජර්මනියේ ජුලියන් වෙබර්ය.
ඔහු මෙවර යුරෝපානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර 90.4ක නව තරගාවලි වාර්තාවක් තැබීමට සමත් විය.
මීට අමතරව ඔලිම්පික් ශූර පාකිස්තානයේ අර්ෂාඩ් නදීම්, ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝහි ක්‍රිෂෝන් වෝල්කට් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ දක්ෂතම ක්‍රීඩකයින් රැසක් අද ඉසව්වට එක්වෙති.
ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින, ඔලිම්පික් හා ලෝක ශූරතාවල මෙන්ම ඩයමන්ඩ් ලීග් වැනි ප්‍රමුඛ තරගාවලි ජයගත් අතිදක්ෂයන්ට පමණක් වරම් හිමිවන මෙම තරගාවලිය ඉකුත් 11 වැනිදා ආරම්භ වූ අතර අද එහි අවසන් දිනයයි.
විශිෂ්ටයන්ගෙත් විශිෂ්ටයා සොයන මෙම තරගාවලියේ තරග ඉසව්වක් ජය ගන්නා ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට අමෙරිකානු ඩොලර් 150,000ක මුදලක් පිරිනැමෙන අතර, එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 5කට ආසන්නය.
මෙහි 2 වැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වාම මුදල් ත්‍යාග හිමිවන අතර, අටවැනි ස්ථානය ලබාගන්නා ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවට හිමිවන මුදල අමෙරිකානු ඩොලර් 10,000කි.



















































