
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින පරිපාලනමය ගැටලු විසදීම සදහා නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයෙකු පත්කිරීමට ආණ්ඩුව කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
එසේ නොවුණහොත් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් එක්ව එළඹෙන බ්‍රහස්පතින්දා දින ආරම්භ කිරීමට නියමිත වැඩවර්ජනය අනිවාර්යෙන්ම සිදුකරන බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කර සිටී.
මෙම වැඩවර්ජනය සදහා ඉතිහාසයේ ප්‍රථමවරට දුම්රිය මගී සංගම්වල සහය ද ලැබී ඇති බව සුමේධ සෝමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
දුම්රිය ප්‍රමාද වීම් ඇතුළු මගී ගැටලු සඳහා තවදුරටත් නිසි විසදුම් නොලැබීම හේතුවෙන් තම සංගමය ද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය දක්වන බව හීන්දෙණිය, පට්ටිගොඩ එක්සත් දුම්රිය මගී සංගමයේ සභාපති ආර්.ඒ.රණතුංග මහතා සඳහන් කළේය.
කෙසේවෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා දුම්රිය වෘත්තීය සමිති වෙත හෙට (14) දිනයේ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබා දී තිබේ.
ඒ අනුව හෙට දිනයේ පැවැත්වෙන සාකච්ඡාවෙන් නිසි විසදුම් නොලැබුණහොත් සැලසුම් කර තිබෙන පරිදි වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කර සිටී.



















































