
ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන "සරසවි දිරියෝ අභිමන්" සුවිශේෂී ශිෂ්‍යාධාර වැඩසටහනේ තුන්වන වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඒ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමී විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනයේදීය.
ශාරීරික සීමාවන් තම අධ්‍යාපන සිහිනවලට බාධාවක් කර නොගත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසු සිසුවියන් වෙනුවෙන් මෙම ශිෂ්‍යාධාරය හිමි වේ.
මෙම වැඩසටහන යටතේ දැනට ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සියලුම සිසුන් ඇගයීමට ලක් කෙරුණු අතර, එක් සිසුවෙකුට රුපියල් ලක්ෂයක එක්වරක් පිරිනමන ශිෂ්‍යාධාරයක් ලබා දීමට ජනාධිපති අරමුදල කටයුතු කර තිබේ.
මෙහි පළමු වැඩසටහන කොළඹදී සහ දෙවන වැඩසටහන යාපනයේදී පැවැත්වුණු අතර එහි තුන්වන සහ අවසන් වැඩසටහන නැගෙනහිර පළාත තුළ ක්‍රියාත්මක විය.
ඒ අනුව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සහ අග්නිදිග විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසු සිසුවියන් 50 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක් කෙරුණු අතර සමස්ත වැඩසටහන මගින් මෙම වසරේ සිසුන් 400කට ආසන්න පිරිසක් ඇගයීමට ලක් කර ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය
''මෙම අවස්ථාව ඉතා වටිනා අවස්ථාවක් ලෙස මම සලකනවා. අපේ රටේ සරසවි පද්ධතිය තුළ අධිෂ්ඨානයෙන්, කැපවීමෙන් සහ උත්සාහයෙන් සියලු බාධක ජයගෙන ඉදිරියට යන ඔබ වැනි ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ඇගයීමට ලැබීම පිළිබඳ සතුටු වෙනවා. ඔබ සියලුදෙනා පිළිබඳ විශාල ආඩම්බරයක් මට දැනෙනවා. ඔබ හැම කෙනෙක්ම ජීවිතය පිළිබඳ අපිට පාඩමක් උගන්වනවා. අභියෝගවලින් පසු නොබැස ඉදිරියට යන්නේ කොහොමද කියලා ඔබ අපිට ආදර්ශයක් සපයනවා. ඔබ සරසවිය දක්වා ගෙන ආ දෙමාපියන්ට සහ ගුරුවරුන්ටත් මම ස්තූතිවන්ත වෙනවා.
අපේ රජයේ මූලික අභිප්‍රායක් වන්නේ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” සියලුදෙනා වෙනුවෙන් නිර්මාණය කිරීමයි. එම ගමනේදී කුමන අභියෝගයක් හමුවේ වුවද අපි කිසිම ශිෂ්‍ය ශිෂ්‍යාවක අතහැරෙන්න ඉඩ දෙන්නේ නැහැ. අපි උත්සාහ කරන්නේ සියලු දෙනාට ගෞරවනීය සහ සියලුදෙනාට සමානව සලකන අධ්‍යාපන පද්ධතියක් නිර්මාණය කිරීමටයි. ආබාධ සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් රජයක් ලෙස වගකීම භාර ගැනීමට අපි කටයුතු කර තිබෙන්නේ ඒ නිසයි.
නිදහස් අධ්‍යාපනය කියන්නේ පොත්පත් ලබා දීම පමණක් නොවෙයි. ඉගෙන ගැනීමට අවශ්‍ය පරිසරය නිසි ලෙස නිර්මාණය කර දීමයි. අපි දන්නවා මේ වන විට විශ්වවිද්‍යාල සිසුන් මුහුණදෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ ඔවුන්ගේ නේවාසිකාගාර ප්‍රශ්නයයි. එම නේවාසිකාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය අපි මේ වසරේ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වසර 03ක් තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 16,000කට පමණ නේවාසිකාගාර පහසුකම් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. එම නේවාසිකාගාර අබාධ සහිත සිසුන්ටද පහසුකම් ලැබෙන ආකාරයට සකස් කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා. ''



















































