
කොට්ටාව ධර්මපාල විද්‍යාලය සඳහා ස්ථිර විදුහල්පතිවරයෙකු පත් නොකිරීම හේතුවෙන් පාසලේ පරිපාලන හා සංවර්ධන කටයුතු රැසක් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව පාසල් සංවර්ධන සමිතිය සහ දෙමාපියන් පවසයි.
සිසු සිසුවියන් 5,000කට අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලබන, ගුරුවරුන් 200කට අධික පිරිසක් සේවය කරන මෙම පාසලේ හිටපු විදුහල්පතිවරයා ඉකුත් අප්‍රේල් මාසයේදී විශ්‍රාම ගොස් තිබුණි.
ඉන් අනතුරුව රාජකාරී ආවරණය කිරීම සඳහා නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට බලතල පැවරුණද, ඒ මහතා හදිසියේ අසනීප වීම හේතුවෙන් පසුව වෙනත් නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට රාජකාරී ආවරණය කිරීමට පවරා ඇත.
මෙම තත්ත්වය හමුවේ පාසලේ පරිපාලන හා සංවර්ධන කටයුතු රැසක් බිඳ වැටී ඇති බව සඳහන් වේ.
පාසලට ස්ථීර විදුහල්පතිවරයෙකු පත් නොකිරීම සම්බන්ධයෙන් සංවර්ධන සමිති නිලධාරීන් සහ දෙමාපියන් විසින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසීමක් කර ඇත.
එහිදී අමාත්‍යාංශය පවසා ඇත්තේ අදාළ තනතුර සඳහා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියෙකු පත් කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවය.
අදාළ පිළිතුරු ලබා දී මාස කිහිපයක් ගතව ඇතත්, මේ වන තෙක් පාසලට ස්ථිර විදුහල්පතිවරයෙකු පත් කර නොමැති බවට දෙමාපියෝ චෝදනා කරති.
පවත්නා තත්ත්වය හමුවේ පාසල් සංවර්ධන සමිතිය සහ දෙමාපියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියෙකු පත් කිරීමට නොහැකි නම්, විදුහල්පති ශ්‍රේණියේ නිලධාරියෙකු හෝ වහාම මෙම තනතුර සඳහා පත් කරන ලෙසය.
එමෙන්ම මෙවැනි විශාල පාසලක් ස්ථිර විදුහල්පතිවරයෙකු නොමැතිව මාස 6ක් තිස්සේ පවත්වාගෙන ගියේ කෙසේදැයි යන්න ද දෙමාපියන් ප්‍රශ්න කරයි.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා පාසලේ ඉදිරි පැවැත්ම උදෙසා වහාම මැදිහත් වන ලෙස ද ඔවුහු අධ්‍යාපන බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.



















































