
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් 'INS UDAYGIRI' යුද නෞකාව සිය සංචාරය සාර්ථකව නිමා කරමින් අද (11) කොළඹ වරායෙන් නික්ම ගියේය.
නෞකාව සඳහා නාවික හමුදා උත්තමාචාරය හා සමුදීමේ සාම්ප්‍රදායික චාරිත්‍ර කොළඹ වරායේදී නාවික හමුදා නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම සංචාරය අතරතුර දෙරටේ නාවික හමුදා අතර සුහදතාව සහ සහයෝගිතාව තවදුරටත් වර්ධනය කරගැනීම අරමුණු කරගනිමින් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි.
ඒ අනුව, දෙරටේ නාවික හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් අත්පන්දු තරගාවලියක් සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත් වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය මඟින් නෞකා වෙත ප්‍රවිශ්ඨ වීම, පරීක්ෂා කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේද පිළිබඳ විශේෂ පුහුණු අභ්‍යාසයක් ද පවත්වන ලදී.
ඊට අමතරව දෙරට අතර නාවික සහයෝගිතාව තවදුරටත් තහවුරු කරමින් 'INS UDAYGIRI' නෞකාව මඟින් රැගෙන ආ නෞකා අමතර කොටස් ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාරදීම ද මෙහිදී සිදු විය.
නෞකාවේ කාර්ය මණ්ඩලය කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ප්‍රමුඛ සංචාරක ස්ථාන නැරඹීමට ද එක්වූහ.
මෙවැනි ද්විපාර්ශ්වික නිල සංචාරයන් මඟින් දෙරටේ නාවික හමුදාවන් අතර නව දැනුම, අත්දැකීම්, සහයෝගීතාව සහ අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය වන අතර, ඉන්දියානු සාගර කලාපයේ උද්ගතවන නාවික අභියෝග සහ නව ප්‍රවණතාවලට සාමූහිකව මුහුණදීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට ඇති හැකියාව තවදුරටත් ශක්තිමත් වනු ඇත.































































