ප්‍රමාණවත් මට්ටමක විදේශ සංචිත පවත්වාගෙන යාම සුඛෝපභෝගී දෙයක් නොව, සාර්ව ආර්ථික ස්ථාවරත්වයේ අත්‍යවශ්‍ය අංගයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
කොළඹදී ඊයේ (11) පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ සමාරම්භක සංචිත කළමනාකරණ සමුළුව අමතමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.
"බාහිර ස්වාරක්ෂක පියවර ප්‍රමාණවත් නොවනවිට කුමක් සිදුවේද යන්න, 2022 වසරේ අප මුහුණදුන් ආර්ථික අර්බුදය මගින් ඉතා පැහැදිලිව සහ ප්‍රායෝගිකව පෙන්නුම් කළා. විදේශ සංචිත අතිශය පහළ මට්ටමකට වැටුණු විට, එහි ප්‍රතිවිපාක මහ බැංකුවේ මූල්‍ය වාර්තා හෝ සංචිත කළමනාකරුවන්ගේ වගකීම්වලින් ඔබ්බට විහිදී යනවා. ආනයන කටයුතු සීමා වෙනවා. ණය ආපසු ගෙවීම අපහසු වෙනවා. විනිමය අනුපාත පීඩන ඉහළ යනවා. උද්ධමන පීඩන වැඩිවෙන්න පුළුවන්. ඒ වගේම ආර්ථිකය සහ රට පිළිබඳ විශ්වාසය පිරිහී යන්න පුළුවන්. 2022 අර්බුදකාරී සමයේදී අපට මෙම ප්‍රතිවිපාක ඉතා අසීරු අත්දැකීම් ලෙස විඳ දරාගන්න සිදුවුණා. වැදගත් දේ තමයි පැවති ප්‍රතිපත්තිමය ඉඩකඩ ද දැඩි ලෙස සීමාවීම. එබැවින්, ඉන් උගත හැකි පාඩම පැහැදිලියි. ප්‍රමාණවත් තරම් විදේශ සංචිත පවත්වාගෙන යාම කියන්නේ සුඛෝපභෝගී දෙයක් නෙවෙයි. ඒක සාර්ව ආර්ථික ස්ථාවරත්වයේ අත්‍යවශ්‍ය අංගයක්. ප්‍රායෝගිකව, සංචිත එක්රැස් කිරීම සංකීර්ණ දෙයක්. ඒ, හොඳ කාල දිගටම පවතින්නේ නැති නිසා. දුෂ්කර කාල පරිච්ඡේද ද තියෙන්න පුළුවන්."